loader

සුශ්රැත ආචාර්යවරයා විසින් රෝග සුවකිරීම සඳහා භේෂජ කර්ම, ශස්ත්ර කර්ම, අග්නි කර්ම හා ක්ෂාර කර්ම ආදී චිකිත්සීය ක්රම රැසක් හඳුන්වාදී ඇත.

ඒ අතුරින් අග්නි කර්මය යනු රෝගියා රෝගයකින් හෝ සංකූලතාවයකින් මුදවා ගැනීම සඳහා විවිධ ද්රව්ය ආධාරයෙන් බලපෑමට ලක්වූ කොටසට සෘජුව හෝ වක්රව අග්නිය හෝ තාපය ලබාදීමයි. 

වරක් අග්නි කර්ම මගින් ප්රතිකාර කරන ලද රෝගයක් නැවත ඇතිනොවන බවත්, පහසුවෙන් ආසාදනය නොවන බවත් විශ්වාස කරන හෙයින් සුශ්රැතය තුළ අග්නි කර්මයට විශේෂ ස්ථානයක් හිමිවේ.

පහත අවස්ථා වලදී ප්රතිකාර සඳහා අග්නි කර්මය යොදාගැනීමෙන් විශේෂයෙන් ප්රතිඵලදායක වී ඇත.

  • මෙතෙක් රෝගය සඳහා භාවිතා කරනලද සියලුම චිකිත්සීය ක්රමවේදයන් තුළින් සුවයක් නොලද විට
  • ශල්යකර්මයක් සිදුකලද රෝගය නැවත නැවතත් ඇතිවන විට
  • සුවනොවන තුවාල ඇතිවිට

මෙය දහන කර්ම, දාහ කර්ම, දග්ධ කර්ම, පචන කර්ම ආදී නම් වලින්ද හඳුන්වයි.

අග්නි කර්ම භාවිතය නුසුදුසු අවස්ථා

  • පිත්ත ප්රකෘති අවස්ථා
  • දෞර්බල්ය සහිත අවස්ථා 
  • භින්න කෝෂ්ඨ සහිත අවස්ථා
  • අන්ත: ශ්රෝණිත සහිත අවස්ථා
  • තුවාල විශාල සංඛ්යාවක් සහිත අවස්ථා

අග්නි කර්ම භාවිත වන අවස්ථා 

  • මන්යාස්තම්භ
  • ශිරෝ රෝග
  • ගුද්රසි
  • ශ්ලිෂ්ට වර්ත්ම
  • අලජි
  • ක්රිමි දන්ත
  • යකෘත ප්ලීහෝදර
  • ශ්රෝණිත අතිප්රවෘත්ති
  • ගුල්ම
  • අර්බුද
  • ස්ලීපද
  • අපචී
  • තිලකාලක
  • චර්මකීල

අග්නි කර්ම ක්රියා පිළිවෙත

මෙය ප්රධාන අදියර 03කින් සමන්විත වේ.

  1. පූර්ව කර්ම
  2. ප්රධාන කර්ම
  3. පශ්චාත් කර්ම

පූර්ව කර්ම

  • පලමුවෙන්ම අග්නි කර්ම සිදුකිරීමට රෝගියාගේ කැමැත්ත ගතයුතුය. ප්රතිකාරය සිදුකිරීමේ ක්රියා පිළිවෙල රෝගියාට පැහැදිලි කලයුතුය.
  • රුධිර පරීක්ෂාවක් හා රුධිරගත සීනී පරීක්ෂාවක් කලයුතුය.
  • ප්රතිකාරය යෙදිය යුතු ස්ථානය නිවැරදිව හඳුනාගත යුතුය.
  • පශ්චාත් පිළිස්සුම් වේදනා පිළිබඳව රෝගියා දැනුවත් කළයුතුය.
  • ප්රතිකාර කලයුතු ස්ථානය ‘ත්රිපලා ක්වාථයෙන්’ හෝ ‘සාමාන්ය සේලයින්’ වලින් සෝදා එම ස්ථානය විෂබීජහරණය කරනලද රෙදිකඩකින් ආවරණය කරයි.

ප්රධාන කර්ම

  • අග්නි කර්ම ප්රධාන ක්රම 02කි.
  1. අඛණ්ඩ තාප පිළිස්සුම් 
  2. අතරමැදි තාප පිළිස්සුම් 
  • මතුපිට පිළිස්සුම් (ත්වක් දග්ධ) සම මතුපිට පවතින රෝග තත්ව සඳහා යොදාගන්නා අතර, ගැඹුරු තාප පිළිස්සුම් (මාංස දග්ධ) ගැඹුරින් පවතින රෝග සඳහා ප්රතිකාර ලෙස යොදයි.
  • රෝග ස්වභාවය, දෝෂ වල ආධිපත්යය සහ එහි ස්ථානය අනුව තාප පිළිස්සුම් ක්රියාවලි 10-12 අතර සංඛ්යාවක් සුදුසු ශලාක සමග සිදුකරයි.

පශ්චාත් කර්ම

  • තාප පිළිස්සුම් නිසා ඇතිවූ තුවාල මත යෂ්ඨි මධු ග්රිත, රක්ත චන්දන සිද්ධ ග්රිත හෝ ග්රිත ලේපය මී පැණි සමග මිශ්ර කර ආලේප කරයි.  
  • යෂ්ඨි මධු ග්රිත මගින් තාප පිළිස්සුම් නිසා හටගන්නා ලද දාහමය ස්වභාවය හා වේදනාව අඩුකරන අතර තුවාල සුවවීමද කඩිනම් කරයි.
  • ආසාදන ඇතිවීම වැළැක්වීම සඳහා පිළිස්සුම් ස්ථානය ජලය සමග ගැටීම වැළැක්විය යුතුය.

ප්රතිලාභ

  • වේදනාව අඩුකරයි.
  • රෝගය නැවත ඇතිවීම වළකයි.

Leave a Reply