loader

              අධි රුධිර පීඩනය යනු වර්තමාන සමාජයේ බහුලව හමුවෙන රෝගී තත්වයකි. මෙහිදී රුධිරය මගින් ධමනි බිත්ති මත දීර්ඝකාලීනව ඉහළ පීඩනයක් එල්ල කරන අතර මේ හේතුවෙන් හෘද රෝග රැසකට මඟ පෑදීම සිදුකරයි. රුධිර පීඩනය මැනීමේදී එය ආකුංච පීඩනය හා විස්තාර පීඩනය ලෙස ආකාර දෙකක් ඔස්සේ මැනීම සිදුකරයි. 

  • ආකුංච  පීඩනය හෘදය ස්පන්ධනය වන අවස්ථාවේදී, එනම් වම් කෝෂිකාව සංකෝචනය වී රුධිරය මහා ධමනිය වෙත ගමන් කිරීමේදී ධමනි පද්ධතිය තුල ඇතිවන පීඩනයයි. මෙය නීරෝගී පුද්ගලයෙකුගේ 120mmHg හෝ මීට අඩු අගයක් ගනී. 
  • විස්තාර පීඩනය හෘදය විවේකීව පවතින විට, එනම් පූර්ණ හෘත් විස්තාරයකදී ධමනි තුල ඇතිවන පීඩනයයි. මෙය නීරෝගී පුද්ගලයෙක් තුල 80mmHg හෝ මීට අඩු අගයක් ගනී.

   එමනිසා මිනිසෙකු තුල සාමාන්‍යයෙන් පැවතිය යුතු රුධිර පීඩන අගය 120/80mmHg හෝ ඊට අඩු අගයක් වියයුතුය. නමුත් මෙම අගයන් 120/80mmHg ට වඩා වැඩි විට ඔබ අධි රුධිර පීඩනයට ලක්වීමේ අවධානමක් ඇති අතර එම අගයන් 130-139/80-89mmHg සීමාවේදී අධි රුධිර පීඩන පළමු අදියර තත්වයක් ලෙසද, 140/90mmHg හෝ ඊට වැඩි සීමාව කරා පැමිණි විට එය අධි රුධිර පීඩන දෙවන අදියර තත්වයක් ලෙස හඳුන්වනුලබයි.

   අධි රුධිර පීඩනයට හේතු ලෙස පහත සඳහන් කරුණු දැක්විය හැක.

  • තරබාරු බව
  • ව්‍යායාම නොකිරීම
  • අධික ලෙස ලුණු පරිභෝජනය කිරීම
  • දියවැඩියාව
  • නිසිපරිදි නින්ද නොලැබීම
  • උපතේ සිට ඇතිවන හෘදයේ දුර්වලතා
  • සමහර ඖෂධ වල ක්‍රියාකාරීත්වයන්
  • දීර්ඝකාලීනව හා අධික ලෙස මත්පැන් පානය කිරීම
  • වකුගඩු වල රෝගී තත්වයන්
  • හෝර්මෝන වල සංකූලතාවයන්

 අධි රුධිර පීඩනය සහිත රෝගීන් බොහෝවිට ආරම්භක අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමට ඉඩඇත. නමුත් දීර්ඝකාලීනව පාලනයකින් තොරව අධි රුධිර පීඩනය පවතින විට රෝගීහු පහත රෝග ලක්ෂණ පෙන්නුම් කරති.

  • හිසරදය
  • පෙනීම බොඳවීම
  • ශ්වසන අපහසුතා ඇතිවීම
  • තෙහෙට්ටුව
  • නාසයෙන් ලේ ගැලීම
  • පපුවේ වේදනාව 
  • මුත්‍රා සමග ලේ පිටවීම

   මෙවන් ලක්ෂණ ඇත්නම් ඔබ වෛද්‍යවරයෙකු හමුවී ඔබට අධි රුධිර පීඩනය ඇතිදැයි තහවුරු කරගැනීම හා ඊට ප්‍රතිකාර ගැනීම කලයුතුය. එසේ නොවුනහොත් මෙමගින් හෘදයාබාධ, හෘත් අකර්මණ්‍යතා, ආඝාත තත්වයන්, වකුගඩු වල අකර්මණ්‍යතා,  දෘෂ්ටියට හානි සිදුවීම ආදී සංකූලතා වලට මුහුණ දීමට සිදුවේ.

   ආයුර්වේදයට අනුව රෝග ඇතිවීම සඳහා මූලිකවම බලපාන්නේ වාත, පිත හා කඵ යන ත්‍රිදෝෂයන්හි අසමතුලිතතාවයයි. මේ අතුරින් වාත දෝෂය සිරුර තුල සිදුවන සියලුම චලනයන් සඳහා මූලිකත්වය ගනී. රුධිර නාල තුලින් රුධිරය ගමන්කිරීමද මීට අයත් වේ. මෙම වාත දෝෂය ප්‍රාණ වාතය, උදාන වාතය, ව්‍යාන වාතය, සමාන වාතය හා අපාන වාතය ලෙස නැවත කොටස් 5කට බෙදෙන අතර ඉන් ව්‍යාන වාතය  මෙම රුධිරය ශරීරය පුරා ගමන්කිරීමට හේතුවේ. මෙම ව්‍යාන වාතයේ අසමතුලිතතා හේතුවෙන් මෙම රුධිරය සම්බන්ධ රෝග තත්වයන් ඇතිවේ. මෙම දූෂණය වූ දෝෂයන් සමතුලිතතාවයට පත්කිරීමට සුදුසු ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට සුදුසු වන පත්‍යාපත්‍ය ද්‍රව්‍ය, විහරණ  ක්‍රම රාශියක් ආයුර්වේද ශාස්ත්‍රයේ දක්වා ඇත.

පහත සඳහන් ක්‍රම අනුගමනය කිරීම, අධි රුධිර පීඩනය තත්වයෙන් මිදීමට රුකුලක් වනු ඇත.


  • උසට සරිලන බර පවත්වා ගැනීම. 

අධි බර ශරීරයේ රුධිර පීඩනය වැඩිකිරීමට මූලික හේතුවක් වන අතර කොලෙස්ටරෝල් මට්ටම, දියවැඩියාව ඇති කිරීමටද හේතුවක් වේ. එසේම ස්ථූල පුද්ලයින් හට හෘදයාබාධ වැලඳීමේ අවධානමක්ද ඇත. මේනිසා ඔබේ BMI අගය 18.5-24.9 සීමාවේ පවත්වාගැනීමට ඔබ උත්සහ කලයුතුය.

  • ව්‍යායාම වල නිරත වීම.

නිතිපතා කෙරෙන ශරීර ව්‍යායාම වලින් ඔබේ හදවතේ මාංසපේෂීන් ශක්තිමත් කරයි. මේනිසා අවම බලයකින් වැඩි රුධිර ප්‍රමාණයක් ශරීරය පුරා ගමන් කිරීමට හෘදයට හැකියාවක් ලැබේ.

  • මද්‍යසාර හා දුම්වැටි භාවිතයෙන් වැලකීම.

මද්‍යසාර හා දුම්වැටි භාවිතා කරන මොහොතේ ඒවායේ අඩංගු සංඝටක හේතුවෙන් රුධිර පීඩනය වැඩි වියහැක. මෙය දීර්ඝකාලීනව නිතිපතා සිදුවුවහොත් අධි රුධිර පීඩන තත්වයක් ඇතිවිය හැක.

  • මානසික පීඩනය අවම කරගැනීමට ක්‍රියා කිරීම.

මානසික පීඩනය අවම කරගැනීම සඳහා සංගීතයට සවන් දීම, භාවනා ක්‍රම, යෝග අභ්‍යාස වල නිරතවීම සිදුකල හැක. ශිශු ආසන, වජ්‍රාසන, පශ්චිමෝත්තනාසන,  ශවාසන, සුඛාසන, වීරාසන වැනි යෝගාභ්‍යාස මේ සඳහා යොදාගත හැක. එසේම භාස්ත්‍රික ප්‍රාණයාම, කපාලභාතී ප්‍රාණයාම, නාඩිශෝධන ප්‍රාණයාම යන ප්‍රාණයාම ක්‍රමද මානසික පීඩනය අවම කරගැනීමට උපකාරී වේ. මෙමගින් අධි රුධිර පීඩනයෙන් මිදීයහැක.

  • ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම.

පැය 6 කට වඩා අඩු කාලයක් නිදාගැනීම හේතුවෙන් ඔබේ රුධිර පීඩනය වැඩිවීමේ හැකියාවක් ඇත. ප්‍රමාණවත් නින්ද, ඔබේ සිරුර තුල පරිවෘත්තියට, හෝර්මෝන සමතුලිතතාවය යහපත් අන්දමින් පවත්වාගැනීම උපකාර වන අතර මානසික ආතතිය අවම කරයි.

   එසේම ඔබ විසින් දිනපතා ගන්නා ආහාරද රුධිර පීඩනය වැඩි කිරීමට හේතුවක් වියහැකිය. අධික ලෙස ලුණු ආහාර, මේද සහිත ආහාර, අධික ලෙස සීනි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය වැඩිවීමේ අවදානමක් පවතී. ආයුර්වේදයට අනුව සුදුලූණු, කැකිරි, ඉදුණු කෙසෙල්,තක්කාලි, නිවිති කොළ යුෂ, කැරට් යුෂ, නෙලුම් දළු, මී පැණි, දෙළුම්, පැණිකොමඩු ඇට වියලා බැද ආහාරයට එක්කර ගැනීම අධි රුධිර පීඩනය අවම කරගැනීමට මහත් පිටුවහලක් සපයයි. 

   ඔබ අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නෙකු නම්  ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී නිසි ප්‍රතිකාර ගැනීම මගින් හා ඉහත සඳහන් කල සුදුසු විහරණ වල නියැලීම හා අපත්‍ය ආහාර මගහැර පත්‍ය වූ ආහාර පමණක්ම ලබාගැනීම මගින් ඔබගේ සෞඛ්‍යයට අහිතකර සංකූලතා තත්වයන්ගෙන් මිදීමට හැකිවේ.

Leave a Reply