loader

අර්ශස් (haemorrhoids) යනු රෝගීන්ව ශාරීරිකව මෙන්ම මානසිකවද ඉතාම පීඩාවට පත්කරන රෝගයකි. මෙම නමුත් බොහෝ අර්ශස් රෝගීන් තමා හට මෙවැනි රෝගයක් ඇතිබව හෙළිකිරීමට මැලිකමක් දක්වයි. ඒනිසාම ඔවුන් ආරම්භයේදීම කිසිම ප්රතිකාරයක් නොගෙන සිටීමෙන් රෝගය දරුණු තත්වයට පත්වේ.

   මෙම රෝගය කාන්තා, පිරිමි දෙපාර්ශවයම සඳහා හටගන්නා රෝගයක් වන අතර මෙහිදී ගුද මාර්ගය හා ගුදය ආශ්රිතව ඇති ශිරාවන්හි රුධිරය එක්වීම නිසා හටගත් ඉදිමීමක් දක්නට ලැබේ. සමහරවිටෙක මෙම රුධිරනාල ඉදිමීමට ලක්වීම නිසා ඒවායේ බිත්ති ඉතාම සියුම් තත්වයට පත්වේ. එමනිසා ඔබ මලපහ කිරීමට උත්සහකිරීමේ මෙම ස්ථාන වලින් රුධිර ගැලීමක් වුවද සිදුවියහැක. මෙය ක්රමයෙන් වර්ධනය වන දීර්ඝකාලීනව පවතින රෝගියක් වන අතර මෙමගින් ජීවිත අවධානමක් නැති නමුදු රෝගියාගේ එදිනෙදා දිවිපැවැත්මට ඉමහත් බලපෑමක් එල්ලකරන රෝගයක් වේ. 

   අර්ශස් රෝගය ඇතිවීම සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති අතර පහත කාරණා අර්ශස් රෝගය සඳහා වන අවදානම වැඩිකරන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත.

  • ජානමය හේතූන්.
  • වයස
  • තන්තු සහිත ආහාර වර්ග ආහාරයට එක්කර නොගැනීම.
  • මලපහ කිරීමේදී අධික ලෙස තැටමීම.
  • ව්යායාම වල නිරත නොවීම.
  • තරබාරුව
  • ගර්භනී බව
  • බර එසවීම වැනි ශරීරයට වෙහෙසකර ක්රියාවලි වල නිරතවීම.
  • දවසේ බොහෝවේලා හිඳගෙන කටයුතු කිරීමට සිදුවීම.
  • දීර්ඝකාලීනව ඇති කැස්ස

   ආයුර්වේද වෛද්ය විද්යාවට අනුව අර්ශස් රෝගය වාතජ අර්ශස්, කඵජ අර්ශස්, පිත්තජ අර්ශස්, ත්රිදෝෂජ අර්ශස්, රක්තජ අර්ශස් හා සහජ අර්ශස් ලෙස ආකාර කිහිපයකට බෙදාදක්වන අතර එම එක් එක් වර්ගයට අදාළ රෝග ලක්ෂණ හා ප්රතිකාර විධි විවිධ වේ. පහත දැක්වෙන්නේ ඔබට අර්ශස් ඇත්දැයි හඳුනාගතහැකි රෝග ලක්ෂණ කිහිපයකි.

  • ගුදය ආශ්රිතව ගැටිති වැනි ව්යුහයන් මතුවීම.
  • ගුද මාර්ගය හා ගුදය ආශ්රිත ඉඳිකටු වලින් අනිනවාක් බඳු වේදනාව.
  • ගුදය ආශ්රිත කැසීම.
  • මලපහ කිරීමේදී අධික ලෙස තැටමිය යුතුවීම.
  • මල සමඟ රුධිරය පිටවීම.
  • මලපහ කල පසුද නැවත මලපහ කලයුතුයැයි අවශ්යතාව මතුවීම.
  • කෑම අරුචිය.
  • බඩ පුරවාදැමීම.

   අර්ශස් රෝගය සඳහා රෝගියාට සම්පූර්ණ සුවය සලසන ප්රතිකාර ක්රම රැසක් ආයුවේද වෛද්ය විද්යාව තුල අන්තර්ගත අතර මෙහිදී ප්රථමයෙන් ආයුර්වේද වෛද්යවරයා රෝගියාගේ රෝග ලක්ෂණ පිලිබඳව අවධානය යොමුකර පසුව ශාරීරිකවද පරීක්ෂා කරබැලීමකින් අනතුරුව සුදුසු ප්රතිකාර, ආහාර විහරණ නිර්දේශ කිරීම සිදු කරයි.

රක්ත අර්ශස් සඳහා සිදුකරන ප්රතිකාර ක්රම කිහිපයක් පහත දැක්වේ.

රක්ත අර්ශස් සඳහා කෂාය වට්ටෝරු කිහිපයක් ( වෛද්ය නිර්දේශය මත පමණක් භාවීතා කල යුතුයි)

  1. වැටකෙයියා බොඩ, කොහිල අල, උම්බලකඩ, රතුළූණු, කිතුල් හකුරු යන මේව කලං 2 හා මංචාඩි 8 බැගින් ගෙන වතුර පත 8ක් දමා, පත 1ට සිඳුවාගෙන පත ½ බැගින් උදේ සවස මී පැණි අනුපානයට ගෙන බොන්න.
  2. සුදුහඳුන්, වියළි ඉඟුරු, බිං කොහොඹ, කහඹිලියා මුල් කලං 3 බැගින් ගෙන මේ සියල්ල පිරිසිදු මැටි මුට්ටියක දමා වතුර පත 8ක් එයට එක්කර පත 1ක් වනතුරු හිඳුවාගන්න. එය පත ½ බැගින් බෙදා, පළමු පත1/2 සහිඳ ලුණු තේහැඳි 1ක් සමග මිශ්ර කර උදෑසන පානය කරන්න. ඉතිරි පත 1/2 සවස පස්වරු 5-6 අතර සීනි හෝ මී පැණි තේහැඳි 1ක් සමග මිශ්රකර පානය කරන්න. දින 4ක කාලයක් මෙම ප්රතිකාරය සිදුකරන්න.

අර්ශස් සඳහා අත්බෙහෙත්

  1. හීන් බෝවිටියා දළු කොටා යුෂ ගෙන කැඳ සාදා පානය.
  2. කරල්සැබෝ සහමුලින් ගලවා කොටා යුෂ ගෙන කැඳ සාදා පානය.
  3. සේපාලිකා දළු දෙමිටක් තම්බා රාත්රී නින්දට පෙර පානය.

   අර්ශස් රෝගීන් හට දිරවීමට අපහසු ගුරු ආහාර, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි උෂ්ණාධික ආහාර,  අධික ලෙස මේද සහිත ආහාර හා මිරිස් සැර අධිකව ඇති ආහාර පරිභෝජනය සුදුසු නැත. එමෙන්ම ක්ෂණික ආහාර හා පිෂ්ටය අධික ආහාර වැඩිපුර පරිභෝජනයද සුදුසු නොවේ. කෝපි, තේ, මධ්යසාර, චොකලට් වැනි ආහාර මල වියළීමට හේතුවන නිසා මලපහ කිරීමේ අපහසුතා ඇතිවියහැක. එබැවින් එම ආහාර වලින්ද වැලකියයුතුය.  

   පලතුරු වර්ග, එලවළු වර්ග, ඕට්ස්, බාර්ලී වැනි ධාන්ය වර්ග, බෝංචි, සෝයා බෝංචි වැනි රනිල කුලයට අයත් ආහාර ද්රව්ය, රතු සහල් ආදී තන්තු බහුලව ඇති ආහාර නිතර පරිභෝජනය කිරීම සුදුසුය. කොහිල දළු කැඳ, කොහිල අල මාළුව අර්ශස් රෝගීන් සඳහා ගුණදායක ආහාර වේ. එසේම එළුකිරි, මෝරු, බටර් වැනි ආහාර අර්ශස් රෝගීන් සඳහා සුදුසු බව ආයුර්වේද ග්රන්ථ වල සඳහන් වේ. තවද නිතරම ප්රමාණවත් තරම් ජලය පානය කිරීම අත්යාවශ්යය. 

   එසේම අර්ශස් රෝගීන් විසින් මල, මුත්ර වේග ධාරණය, දීර්ඝ වේලාවක් එක් තැනකට වී හිඳගෙන සිටීම, අධික ලෙස බර ඉසිලීම වැනි ක්රියාකාරකම් වල නියැලීම ආදිය අපත්ය විහරණ ලෙස ගෙන ඒවායින් වැලකිය යුතුය. නිසිපරිදි ව්යායාම සිදුකිරීම, උසට සරිලන බර පවත්වාගැනීම, මානසික ආතති වලින් තොරව සිය මනස පවත්වාගැනීම වැනි සරල ක්රියාකාරකම් වලින් එදිනෙදා ජීවිතයේදි ඔබට මහත් සහනයක් අත්වනු ඇත. එසේම පලපුරුදු ආයුර්වේද වෛද්යවරයෙකු හමුවී රෝග ලක්ෂණ සැඟවීමකින් තොරව ප්රකාශ කර සුදුසු ප්රතිකාර වලට යොමුවීම තුලින් අර්ශස් රෝගය දරුණු අවස්ථාවන්ට පත්වීමෙන් වලක්වා ගතහැක.

Leave a Reply