loader

ඈත අතීතයේ සිට කොළ කැඳ වර්ග විටෙක ආහාරයක් ලෙසද විටෙක ඖෂධයක් ලෙසද  ඉන්දියාව, ශ්රී ලංකාව ආදී ආසියාතික රටවල සාමාන්ය ජන ජීවිතය තුළ භාවිතා විය. එකළ ආයුවේදය හා දේශීය වෛද්ය විද්යාවේ ආභාෂය තුලින් ලබාගත් දැනුමෙන් අපේ මුතුන්මිත්තන් විසින් සිරුරට ඉතාම ගුණදායී වන කොළ කැඳ ආදී ආහාර සිය ආහාරයට එකතු කරගැනීම ඔවුන්ගේ නීරෝගී පැවැත්මට හේතුවන්නට ඇත.

   මෙසේ කොළ කැඳ සෑදීමේදී ඒකීයව කොළ වර්ගයක් පමණක් භාවිතා කිරීමද, නැතිනම් කොළ වර්ග කිහිපයක එකතුවෙන් කොළ කැඳ සාදාගැනීමද සිදුකල හැකියි. නමුත් එකම කොළ වර්ගයකින් සාදාගන්නා ලද කැඳ නිරතුරුවම භාවිතා කිරීමද ශරීරයට අහිතරකර විය හැකියි. එමනිසා අපට එදිනෙදා ජීවිතයේදී ඔබේ ආහාරයට එකතු කරගත හැකි කොළ කැඳ වර්ග කිහිපයක්, ඒවා සාදාගන්නා අයුරු හා ඉන් ඔබේ ශරීරයට ලැබෙන ප්රතිලාභ පිළිබඳව මෙතැන් සිට සලකා බලමු.

හාතවාරිය කොළ කැඳ

  • සිංහල කැකුළු හාල් හුණ්ඩු  ¼
  • අමු හාතවාරිය කොළ මිටි 02
  • පොල් බෑයක පොල් 
  • සුදුලූණු බික් 5-6
  • රස අනුව ලුණු
  • අවශ්ය නම් ගම්මිරිස් ඇට කිහිපයක් ඉඟුරු කැබැල්ලක් එක්කර හැක.
  • හාල් ටික ගරා සෝදා ලුණු ස්වල්පයක්, සුදුලූණු හා ගම්මිරිස් එක්කර හාල් හොඳහැටි ඉදෙන ප්රමාණයට වතුර වත්කොට ළිප තබන්න.
  • හාතාවරිය කොළ හොඳින් සෝදාගෙන ගල් වංගෙඩියක හෝ බ්ලෙන්ඩරයක ආධාරයෙන් හොඳින් කොටාගන්න.
  • පොල්බෑය ගා දෙවරක් කිරි මිරිකාගන්න.
  • තුන්වැනි වරට මිරිකාගත් කිරි කොටාගත් හාතවාරිය කොළ වලට දමා මිරිකා යුෂය ගන්න.
  • මෙසේ ලබාගත් යුෂය පොල්කිරි සමඟ එක් කරන්න.
  • ඉන්පසු බත හොඳින් හැන්ඳෙන් පොඩිකර කොළයුෂ මිශ්ර කිරි වත්කොට හැඳිගාමින් පිස නටන විට ළිපෙන් ඉවත් කරන්න.
  • වැඩිවේලා ඉදුනහොත් පොල්කිරි තෙල් බවට පත්වී කැඳේ තෙල් පාවෙනු ඇත.

ඖෂධීය ගුණ

  • ශරීර අභ්යන්තරයේ ඇති විෂ නාශනය කිරීම.
  • ශරීර ශක්තිය වඩවයි.
  • ලේ ධාතුව පිරිසිදු කිරීම මගින් මුඛ රෝග අත්පා දැවිල්ල, කකුල් පැලීම් ආදී රක්ත දෝෂ සමනය කරයි.
  • සමෙහි ලප කැළැල් ඉවත්කර සම පැහැපත් කරයි.
  • හිසකෙස් ගැලවීයාම හා හිසකෙස් සුදුවීම අවම කර හිසකේ වැඩීම වර්ධනය කරවයි.
  • හිසරදය, ශ්වසන රෝග සඳහා යහපත් වේ.
  • කාන්තාවන්ගේ අධිකව ඔසප් වීම පාලනය කරන අතර කාන්තා රෝග සඳහා ඉතාම ගුණදායක වේ.
  • ලුණු නොමැටිව හීනටි හාලෙන් පිළියල කරහත් හාතවාරිය කොළ කැඳ ගිතෙල් සමග පානය කිරීමෙන් නේත්ර රෝග සුව වේ.

ගොටුකොළ කැඳ

ශ්රී ලංකාව තුළ හීන් ගොටුකොළ හා මහ ගොටුකොළ ලෙසින් වර්ග දෙකක් ඇති අතර මින් හීන් ගොටුකොළ ඖෂධීය වටිනාකමින් ඉහළය. හාතවාරිය කොළ කැඳ පිසූ ආකාරයටම පිළියෙල කරගන්න.

ඖෂධීය ගුණ

  • ධාරණ ශක්තිය වැඩිදියුණු කිරීම හා බුද්ධි වර්ධනය සිදුකරයි.
  • පීනස රෝගය සඳහා ඉතාමත්ම ගුණදායකයි. මෙහිදී කැඳ සාදන විට රතුළූණුද එක්කර ගැනීමෙන් ඖෂධීය ගුණය වැඩිකර ගතහැක.
  • රුධිරයේ දෝෂ නසන අතර හදවතට හිතකර වේ.
  • ඉදිමුම් රෝහ හා මලබද්ධතාවය දුරුකරයි.
  • ඇස් පෙනීමේ දුර්වලතා මගහරවයි.

පොල්පලා කොළ කැඳ

   පොල්පලා පලා වර්ගයක් මෙන්ම ඔසු කැඳ හා ඔසුපැන් සෑදීම පිණිස භාවිතා කරයි. විශේෂයෙන්ම මුත්රණ ව්යුහය ආශ්රිත රෝගාබාධ තත්වයන් සඳහා ඉතාමත්ම හිතකර ඖෂධයක් ලෙස පොල්පලා හැඳින්විය හැක. නමුත් දිනපතා පොල්පලා කැඳ පානය කිරීම නිර්දේශ කල නොහැක.

ඉහත හාතාවරිය කැඳ සෑදූ ආකාරයටම මෙයද සාදාගත හැක. මෙහිදී හොඳින් සෝදා පිරිසිදු කරගත් පොල්පලා පැළෑටියම කැඳ පිණිස යොදාගත හැක.

ඖෂධීය ගුණ

  • විශේෂයෙන්ම මුත්රා අඩස්සියට, මුත්ර දැවිල්ලට මෙන්ම මුත්ර ගල් හෙවත් මුත්ර අශ්මරී නාශන හැකියාව පොල්පලා වලට ඇත.
  • දියවැඩියාව මෙන්ම ශ්වසන ආබාධ ඇති අයටද ගුණදායක වේ.
  • චර්ම රෝග නාශන හැකියාව සහිතයි.
  • පාචන, අතීසාර ආදී රෝග රාශියකට ගුණදායක වේ.

කරපිංචා කොළ කැඳ

කරපිංචා අප ආහාර පිසීමේදී නිතරම භාවිතා කරන කුළුබඩුවක් ලෙස  යෙදෙන ද්රව්යක් වන අතර මෙය ශරීරයට හිතකර ඖෂධීය ගුණ වලින්ද යුතුවෙයි. එමනිසා කරපිංචා දළු සම්බෝල හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට එක්කර ගැනීම හා කරපිංචා යුෂ යෙදූ කැඳ වර්ග ආහාරයට ගැනීමට දේශීය වෛද්යවරුන් යම් රෝගී තත්වයන්හීදී නිර්දේශ කරයි. 

මෙම කරපිංචා කැඳද ඉහත හාතවාරිය කැඳ පිළියෙල කර ආකාරයටම පිළියෙල කරගත හැකිය.

ඖෂධීය ගුණ

  • ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකරමින් හෘදයාබාධ ඇතිවීමේ අවධානම අවම කරයි.
  • එසේම හෘද රෝගීන්ටද කරපිංචා කැඳ පත්ය ආහාරයක් ලෙස ආයුර්වේදයේ නිර්දේශ කරයි.
  • කැරකවිල්ල හා වමනය අඩුකරයි.
  • කෑම අරුචිය සහිත හා නිතර අජීර්ණ ඇතිවන පුද්ගලයන් සඳහා ගුණදායක වේ.
  • සීත ගුණ හා කසට රස නිසා රක්ත දෝෂ, අර්ශස්, දාහ, වණ හා කුෂ්ඨ සුවකිරීමෙහි සමත්ය.

   සිරුරෙහි පවතින දෝෂ තත්ව වලට විවිධාකාරයෙන් ගුණදායක වන මෙවැනි ශාක රාශියක් අපගේ ගෙවත්ත තුලින්ම සොයාගැනීමේ හැකියවක් ඇත. එක් කැඳ වර්ගයකට පමණක් සීමා නොවී කැඳ වර්ග කිහිපයක් ආහාරයට එක්කර ගැනීමෙන් ඔබේ ශරීරයට හිතකර ප්රතිලාභ රැසක් අත්පත් කරගත හැක.

Leave a Reply