
ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප්වීම ඇයට අවුරුදු 10-15 කාලසීමාව තුල සිදුවේ. මෙහිදී ගර්භාෂයේ අභ්යන්තර ශ්ලේෂ්මල ස්ථරය රුධිරය සමඟ ගැබ්ගෙල හරහා යෝනි මාර්ගයෙන් ඉවතට ගලායාම සිදුවේ. මෙය පළමු ඔසප්වීමේ සිට සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක්ම සිදුවේ. නීරෝගී කාන්තාවකගේ මෙය දින 21-35 අතර කාල සීමාවේදී සිදුවේ. මෙම ක්රියාවලිය ඔසප් චක්රය හෙවත් ආර්ථවචක්රය ලෙස හඳුන්වනු ලබන අතර මෙය කාන්තාවකගේ ආර්ථවහරණය තෙක් සිදුවේ. එසේම මෙම ආර්ථවචක්රය ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරෝන් හෝර්මන මගින් යාමනය කරනු ලබන ක්රියාවලියකි. ඔසප් සමයේදී පිටවන රුධිරයේ පැහැයේ වෙනස්කම්, රුධිර ප්රමාණයේ වෙනස්කම්, අධික ඔසප් වේදනාව, නියමිත ආකාරයට ඔසප්වීම සිදුනොවීම ආදිය ආර්ථවචක්රය තුළ ඇතිවන ගැටළුකාරී තත්වයන් වන අතර ඒ සඳහා වෛද්ය ප්රතිකාර ලබාගැනීම යෝග්ය වේ.
ඔසප්වීම සම්බන්ධ අසාමාන්යතා සලකාබැලීමේදී, ආයුර්වේද ග්රන්ථ වලට අනුව කාන්තාවකගේ ඔසප් කාලසීමාව තුළ හෝ ඒ අතරතුර කාලයේ අධික ලෙස රුධිරය බැහැරවීම හෝ ඔසප්වීමේ දින ගණන වැඩිවීම අසෘග්දර නම්වේ. මෙම තත්වය රෝගයක් ලෙස නොව වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙස හඳුන්වාදී ඇත. චරක ආචාර්යවරයාට අනුව මෙය වාතික, පිත්තජ, ශ්ලේෂ්මලික් හා සන්නිපාතික අසෘග්දර ලෙස ආකාර 4කට වර්ග කර දක්වයි. බටහිර වෛද්ය විද්යාව තුළ මෙම තත්වය Menorrhagia ලෙස හඳුන්වයි. මෙහිදී පිටවන රුධිර ප්රමාණය 80ml වලට වඩා වැඩිවීම හෝ දින 7කට වැඩි කාලයක් රුධිරය පිටවීම හෝ මේ තත්ව දෙකම menorrhagia යටතට ගැනේ.
මේ සඳහා පහත තත්වයන් හේතූන් වියහැක.
- හෝර්මෝන අසමතුලිතතාව
- ඩිම්බකෝෂ වල අක්රමිකතා
- ගර්භාෂයේ ෆයිබ්රොයිඩ තත්වයන්
- ගර්භාෂයේ ඇතිවන අසාමාන්ය වර්ධන තත්වයන්
- උපත් පාලන ක්රම
- ගර්භනී අවධියේ ඇතිවන සංකූලතා තත්ව
- පිළිකා තත්ව
- සමහර ඖෂධ
අසෘග්දරයෙහි ලක්ෂණ පහත පරිදි වේ.
- ඔසප් සමයේ අධික් ලෙස රුධිරය පිටවීම
- ඔසප්වීම් දෙකක් අතරතුර රුධිරය පිටවීම
- සතියකට වඩා වැඩි කාලයක් ඔසප් තත්වය පැවතීම
- රුධිරය කැටිති වශයෙන් පිටවීම
- උදරයේ පහළ කොටස හා ශ්රෝණිය ආශ්රිත අධික වේදනාව
- ඇඟපත දුර්වලවීම
- හිසරදය
- මළබද්ධතාව
- පියයුරු වල තදගතිය
- මනෝබාවයන්හි වෙනස්වීම්
- ආහාර නොදිරවීම
- රක්තහීනතා ලක්ෂණ
ඉතා පැරණි වෛද්ය ශාස්ත්රයක් වන ආයුර්වේදය තුල කාන්තාවන්ගේ ඔසප්චක්රය ආශ්රිත ගැටළු මගහරවා ස්වස්ථ බව ආරක්ෂා කරගැනීම සඳහා ප්රතිකාර ක්රම රාශියක් දක්වා ඇත. ඒ අතුරින් අසෘග්දර නම්වූ මෙම තත්වය සඳහා යොදන පහත ආකාරයේ ඖෂධද, පංචකර්ම ප්රතිකාරද ඊට අමතරව යෝග ප්රතිකාර තුලින්ද අත්යධික වූ ඔසප් ස්රාවය නැවත ක්රමවත් කිරීම, වේදනා සමනය කිරීම හා වියැකී ගිය ශරීර බලය නැවත ඇතිකිරීම සිදුකරයි.
ආයුර්වේද වෛද්ය ශාස්ත්රය තුළ මෙම තත්වය වළක්වාගැනීම පිණිස යොදන ඖෂධ පහත පරිදි වේ.
- ස්ථම්බන ද්රව්ය – අධික රුධිර වහනය වැළැක්වීම
- පිත්ත ශාමක ද්රව්ය – පිත සමනය කිරීම
- වාත ශාමක ද්රව් – වාත දෝෂය සමතුලිත කිරීම
- රක්ත ප්රසාදන – රක්තය පිරිසිදු කිරීම
- කෂාය රස ද්රව්ය
අසෘග්දර සඳහා පංච කර්ම ප්රතිකාර පහත ආකාරයෙන් යොදාගනී.
- යෝනි ප්රක්ෂාලනය ( යෝනි මාර්ග ශෝධනය)
- පිචු (ඖෂධීය තෙල් හා ගිතෙල් අනුසාරයෙන් යෝනි මාර්ගයේ ඇති විෂබීජහරණය)
- අවගාහ ස්වේද (ඖෂධ දියරයන්හි නියමිත වේලාවක් හිඳගෙන සිටීම)
- අභ්යංග (උණුසුම් ඖෂධීය තෙල් සමගින් යටි උදරය සම්භාහනය කිරීම)
- චක්ර බස්ති (නාභිය වටා ප්රදේශයේ ඖෂධ ගැල්වීම)
යෝග ප්රතිකාර
- උත්තානාසන
- අර්ධ චන්ද්රාසන
- අධෝමුඛ ශ්වනාසන
- වීරාසන
- සර්වාංගාසන
ඉහත යෝග ක්රම ඇතුලුව, නාඩි ශෝධන ප්රාණයාම, අනුලෝම-විලෝම ප්රාණයාම ආදියෙහි නියැලීමද, භාවනා ක්රම වල නිරතවීමෙන් මානසික ආතතිය අවම කරගැනීම් තුලින් හා ස්රෝතස් වල අවහිරතා මගහැර ගැනීම තුලින් අසෘග්දර සඳහා සහනය සලසාගත හැක.
එසේම අසෘග්දර (Menorrhagia) සඳහා පත්ය හා අපත්ය ආහාර විහරණ ආදිය පහත පරිදි දක්වා ඇත.
ආහාර
- මධුර, කෂාය රසයෙන් යුත් ආහාර වර්ග කෑමට එක්කර ගැනීම.
- යකඩ හා විටමින් ක් අන්තර්ගත ආහාර බහුලව කෑමට එක්කර ගැනීම.
- උෂ්ණ, ලවණාධික හා ගුරු ආහාර ගැනීමෙන් වැළකීම.
- ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම.
- කෝපි, තේ, සීතල පාන වර්ග වලින් වැළකීම.
විහරණ
- මානසික ආතති තත්ව වලින් වැළකීම සඳහා යෝග, ප්රාණයාම හා භාවනා ක්රම වැනි සිත සන්සුන් කරවන අභ්යාස වල නියැලීම.
- විවේක ගැනීම.
- අවම වශයෙන් පැය 7-8ක නින්දක් ලබාගැනීම.
- ශරීරය පිරිසිදුව තබාගැනීම.
- මඳ උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ශරීරයෙහි මාංසපේෂීන් ලිහිල් වන අතර මනසටද සුවදායී බවක් ලබාදෙයි.
- ඔසප් සමය අතරතුර බර ඉසිලීමෙන් වැළකීම.
අසෘග්දර තත්ව වලදී ශරීරයෙන් අධික ලෙස රුධිරය පිටවීම හේතුකරගෙන රක්තහීනතා (Anemia) තත්ව ඇතිවිය හැක. මෙම රක්තහීනතා තත්වයෙහි පූර්ව ලක්ෂණ ලෙස අධික වෙහෙස, තෙහෙට්ටුව, එදිනෙදා කාර්යන් සිදුකිරීම සඳහා ශක්තිය මදිකම, සම සුදුමැලි වීම, සීතල දැනීම ආදිය දැක්විය හැක.
වර්තමානය වන විට නොසුදුසු ආහාර පරිභෝජනය හා දිවි පැවැත්ම හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙක් අතර මෙම අසෘග්දර තත්වය පැවතුනද ඔවුන්ගේ නොදැනුවත්භාවය හෝ කාර්යබහුලබව නිසා නිසි ප්රතිකාර වලට යොමුවීමක් සිදුනොවේ. බටහිර වෛද්ය විද්යාව තුල බොහෝවිට මේ සඳහා උපත් පාලන පෙති යොදාගත්තද ආයුර්වේදය තුල සාපේක්ෂව වෙනස් ක්රම අනුගමනය කරමින් රෝගියාට පූර්ණ සුවය සලසාදීම සිදුකරයි.