
වර්තමානය වන විට බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝගද මිනිසාගේ සෞඛ්යයට විශාල ලෙස බලපෑම් ඇතිකරමින් පවතී. ජනතාව අතර ව්යවහාරයේ ‘කොලෙස්ටරෝල්’ නමින් හඳුන්වන රෝගයද එසේ මිනිසාගේ සෞඛ්යයට අහිතකර අන්දමින් බලපාන බෝ නොවන රෝග අතුරින් එකකි.
ඇත්තෙන්ම කොලෙස්ටරෝල් යනු ඉටි වැනි මේදමය ද්රව්යකි. එය ඔබගේ සෑම සෛලයක් තුලම දැකගත හැකි අතර ඔබේ සිරුරට අවශ්ය කරන කොලෙස්ටරෝල් ප්රමාණය සිරුර විසින්ම නිෂ්පාදනය කරනු ලබයි. මෙම කොලෙස්ටරෝල් ඔබේ සිරුර තුල පරිවෘත්තියට අවශ්ය හෝර්මෝන නිෂ්පාදනයට, විටමින් D වල ක්රියාකාරීත්වයට, සෛල සැකැස්මට ආදී විවිධ ක්රියාවලීන්ට දායකත්වය සපයයි. නමුත් ඔබේ සිරුර තුල පැවතිය යුතු කොලෙස්ටරෝල් ප්රමාණය යම්කිසි ආකාරයකින් සාමන්ය මට්ටමට වඩා ඉහල ගියහොත් එවිට එය ඔබගේ සෞඛ්යයට අහිතකර ලෙස බලපෑම් එල්ලකරයි. ශරීරය තුල පවතින කොලෙස්ටරෝල් වර්ග අතුරින් LDL (Low Density Lipoprotein) නම් කොලෙස්ටරෝල් වර්ගය මේ අතුරින් ප්රධාන වේ. LDL කොලෙස්ටරෝල් ප්රමාණය නියමිත මට්ටමට වඩා වැඩිවූ විට ඒවා ඔබේ රුධිර නාල තුල තැම්පත්වීම මගින් ඒවා තුලින් රුධිරය ගමන්කිරීම අවහිර කරවයි. මේ හේතුවෙන් රුධිර කැටි ඇතිවීම, හෘදයාබාධ, අඝාතය, රුධිර පීඩනය ඉහලයාම වැනි බරපතළ තත්ව වලට මුහුණදීමට සිදුවිය හැක. එමනිසා ඔබගේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම සෞඛ්යවත් අගයක පවත්වාගැනීමට නිතරම වගබලා ගතයුතුය.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඔබේ වයස, ජානමය හේතුන්, ඔබේ දිවිපැවැත්ම හා ආහාර රටාව මත රඳාපවතී. කොලෙස්ටරෝල් මට්ටම නියමිත පරාසයට වඩා වැඩිවූ විට පහත රෝග ලක්ෂණ පෙන්නුම් කලහැක.
- පපුවේ වේදනාව
- ඔක්කාරය
- අධික තෙහෙට්ටුව
- හුස්ම ගැනීමේ අපහසුතාව
- අත් හා පාද වල සීතලබව හා හිරිය
- බෙල්ලේ, හණු වල, උදරයේ ඉහල ප්රදේශයේ හා පිට කොන්දේ වේදනාව
ආයුර්වේද වෛද්ය විද්යාව තුල රුධිරගත කොලෙස්ටරෝල් ප්රමාණය අවම කර නිරෝගී ජීවිතයක් ගතකිරීමට අවශ්ය මගපෙන්වීම් රැසක් ඇතුලත් වේ. මෙහි, රෝගී පුද්ගලයින් මෙන්ම නීරෝගී පුද්ගලයින්ද තම කොලෙස්ටරෝල් මට්ටම නියමිත මට්ටමේ තබාගැනීම පිණිස භාවිතා කලයුතු සුදුසු ආහාර, විහරණ, බෙහෙත් වට්ටෝරු, අත්බෙහෙත්, යෝගා ක්රම ආදී ප්රතිකාර විධි ඇතුලත්වේ.
සාමාන්යයෙන් ශරීරයට අවශ්ය කරන කොලෙස්ටරෝල් බහුලවම නිෂ්පාදනය කරන්නේ ඔබේ අක්මාව මගිනි. මීටඅමතරව ඔබ ගන්නා ආහාරපාන මගින්ද සිරුරට කොලෙස්ටරෝල් ලැබේ. ක්ෂණික ආහාර, බදින ලද ආහාර, සොසේජස්, බේකන් වැනි සකස් කල මස් වර්ග, බිස්කට්, කේක්, පේස්ට්රි වර්ග ආදී අතුරුපස වර්ග වල අධික ලෙස කොලෙස්ටරෝල් අඩංගු වන අතර ඔබේ සෞඛ්යයට ඉතා අයහපත් වේ. බිත්තර, චීස්, සාඩින්, මේද අන්තර්ගත යෝගට් ආදියෙහි කොලෙස්ටරෝල් අන්තර්ගතය ඉහල වුවද ඒවායෙහි අනෙකුත් පෝෂණ කොටස්ද බහුලව පවතින නිසා එම ආහාර වර්ග සුදුසු පරිදි සීමාසහිතව ආහාරයට එක්කර ගැනීම යෝග්ය වේ.
එසේම සුදුලූණු, ගොරකා, මුරුංගා, කරපිංචා, උළුහාල්, කුරුඳු, නිවිති, ධාන්ය වර්ග, රනිල බෝග, ඕට්ස්, බාර්ලි, ආමන්ඩ් ඇට, පලතුරු හා බෙරි වර්ග, ඩාර්ක් චොකලට්, එලවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් සිරුරට අහිතකර වන LDL කොලෙස්ටරෝල් මට්ටම අවම කර, සිරුරට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරගත හැකිය. එසේම green tea පානය, ඔබගේ රුධිර පීඩනය යහපත් අගයක පවත්වාගැනීමට, රුධිර කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට හා රුධිර කැටි ඇතිවීම වැලක්වීමට උපකාරී වෙයි.
එසේම් චක්රාසන, සර්වංගාසන, පශ්චිමෝත්සන්නාසන, අර්ධ මත්ස්යේන්ද්ර ආසන ආදී යෝග ආසන ක්රම හා කපාලභාතී ප්රාණයාම, නාඩිශෝධනප්රාණයාම යන ප්රාණයාම ක්රම මගින් ආහාර ජීර්ණය උද්දීපනය කිරීම, අක්මාවේ ක්රියාකාරිත්වය වැඩිකිරීම, අතිරික්ත මේදය දහනය කිරීම හා සිරුරේ බර පාලනය කිරීම මගින් රුධිරගත අධි කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. මීට අමතරව දිනපතා ව්යායාම වල නිරතවීම, මද්යසාර හා දුම්බීමෙන් වැලකීම, ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම, උසට සරිලන බර පවත්වාගැනීම මගින්ද ඔබට අධි කොලෙස්ටරෝල් අවදානමෙන් මිදියහැකිය.
අධි කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා උපයෝගී කරගත හැකි සරල ආයුර්වේදීය ප්රතිකාර විධි කිහිපයක් පහත දැක්වේ.
- සුදුලූණු ගෙඩියක පොතු ඉවත්කර ඊට කොත්තමල්ලි කොළ, පාස්ලි කොළ හා කරපිංචා කොළ එකතුකර වතුර පත 5ක් එක්කර පත 1 වනතෙක් සිඳුවා උදෑසන හිස්බඩ පානය කරන්න. මෙය සතියට දෙවතාවක් සිදුකරන්න.
- ලෙමන් යුෂ වීදුරුවක් ගෙන ඊට ගම්මිරිස් හා මීපැණි ස්වල්පය බැගින් එක්කර පානය කිරීම.
- ගොරකා 20g, උළුහාල් හා කළුදුරු 10g බැගින් කරපිංචා කොළ 20g, සුදුලූණු 10g, පොඩි කුරුඳු පොතු කැබැල්ලක්, අමු ඉඟුරු කුඩා කැබැල්ලක් හා ගම්මිරිස් ඇට 10g ගෙන මේ සියල්ල ඇල් දියෙන් හොඳින් අඹරාගන්න. ඉන්පසුව තම ශරීරයේ බරට ගැලපෙන පරිදි කඩල ඇටයක ප්රමාණයේ සිට නෙල්ලි ගෙඩියක ප්රමාණය දක්වා දවසට දෙවරක් ආහාර වේල් සමග අනුභව කරන්න. කිසිවිටෙකත් නෙල්ලි ගෙඩියක ප්රමාණය නොයික්මවිය යුතුය.
- කරපිංචා යුෂ හෝ කැඳ සාදා පානය කිරීම.
මාස කිහිපයකට වරක්වත් ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් ප්රමාණය රුධිර පරික්ෂාවක් (lipid panel) මගින් පරීක්ෂා කරගැනීමත්, එහි යම්කිසි ව්යාකූල තත්වයක් හෝ අධි කොලෙස්ටරෝල් මට්ටම නිසා ඇතිවූ යම් ලක්ෂණයක් වේ නම් හෝ පලපුරුදු ආයුර්වේද වෛද්යවරයෙකු හමුවී ප්රතිකාර ලබාගැනීම මගින් අනාගතයේ මතුවීමට ඉඩ ඇති හෘදයාබාධ, අඝාත තත්ව හා රුධිර කැටි ඇතිවීම වැනි ඔබේ ජීවිතයට හානිකර වන සංකූලතා තත්ව මගහරවා ගතහැක.