
අප සිරුරට අවශ්ය විටමින්, ඛනිජලවණ වැනි අතිරේක නමුත් සිරුරට අත්යවශ්ය පෝෂක කොටස් ලබාගැනීම සඳහා සුදුසු මාර්ගයක් ලෙස කොළ කැඳ පානය හඳුන්වාදිය හැක. නමුත් කොතරම් ගුණ ආහාරයක් වුවද එය ශරීරයට හිතකර වීමට නම් එය විධිමත් පරිදි සකස්කොට සුදුසු කල්හි ආහාරයට ගතයුතු වේ. කොළ කැඳ භාවිතාකිරීමේදී සැළකිලිමත් වියයුතු කාරණා කිහිපයක් පිළිබඳව පහත සඳහන් වේ.
- කොළ කැඳ වඩාත් සුදුසු වන්නේ උදෑසන පානය සඳහාය. නමුත් උදෑසන ආහාරයට පැයකට පමණ පෙර කැඳ පානය කිරීම යහපත් වේ.
- කැඳ සාදාගැනීමට භාවිතාකරන සාම්ප්රදායික සහල් වර්ගයක් (හීනටි, සුවඳැල් වැනි) හෝ රතු කැකුළු වැනි සහල් වර්ගයක් භාවිතයෙන් ගුණාත්මක බව වැඩිකර ගත හැක.
- එක් ද්රව්යකින් පමණක් සාදන ලද කැඳක් දිනපතා භාවිතා කිරීම නුසුදුසුය. උදාහරණයක් ලෙස දින තුනක් පිළිබඳව සැලකූ විට දින තුනට තුන් වර්ගයක කැඳ භාවිතයෙන් ශරීරයට ලැබෙන පෝෂණ ගුණය වැඩිය.
- මිශ්ර කොළ කැඳ භාවිතයෙන් ලැබෙන පෝෂණ ගුණය ඉහළය.
- කොළ කැඳ සඳහා ජලය හා කොළයුෂ එක්කරන්නේ 4:1 අනුපාතයෙනි. පෝෂණ ගුණය වැඩිවීමට යැයි සිතා ජලය හා කොළයුෂ අනුපාතය 1:1 ලෙස ගතහොත් ආහාර ජීරණයේදී බාධා ඇතිවිය හැක.
- කොළයුෂද එක්කල පසු වැඩිවේලා ළිප තබා රත්කිරීමෙන් පෝෂක සංඝටක විනාශ වියහැකි අතර කැඳෙහි සාමන්ය කොළ පැහැය නැතිවිය හැක.
එදිනෙදා ජීවිතය තුළ කොළ කැඳ සඳහා භාවිතා කළහැකි, පහසුවෙන් සොයාගත හැකි ශාක වර්ග කිහිපයක් හා ඉන් ලැබෙන ඖෂධීය ගුණ පිළිබඳව පෙර ලිපියේ සඳහන් කලෙමු. තවත් එවැනි ඖෂධීය ගුණයෙන් බහුල වූ කැඳ වර්ග කිහිපයක් හා ඒවායෙහි ඖෂධීය ගුණ පිළිබඳව පහත දැක්වේ.
මොණරකුඩුම්බිය කොළ කැඳ
වතුපලා, මඟුල්කුඹුරුවැන්න, කොබෙයිකොළ ආදී දේශීය නම් වලින් හැඳින්වෙන මෙය ගෙවතු වල වගාකිරීමකින් තොරව පෝෂණය වෙමින් වැඩෙන පැළෑටියකි.
ඖෂධීය ගුණ
- අග්නි දීපනය කර කුසගින්න ඇතිකරයි.
- ආහාර ජීරණය පහසු කරවයි.
- මළබද්ධතාව, සෙංගමාලය දුරුකරයි.
- අක්මාව ආශ්රිත රෝග, ආමාශ ආශ්රිත රෝග හා මුත්රාශය ආශ්රිත රෝග රැසකට සුවය සලසයි.
- මුත්රකරක ගුණ ඇති බැවින් මුත්ර පිටකිරීමේ අපහසුතා අවම කරයි.
- රුධිරය පිරිසිදු කරන අතර ශරීර ප්රතිශක්තිය වඩවයි.
- ළදරු මාන්දම් රෝග සඳහා ගුණදායී වේ.
හීන් බෝවිටියා කොළ කැඳ
ලංකාවට ආවේණික වූ ශාකයක් වන මෙය දීප්තිමත් දම් පැහැ මල් වලින් යුතුවේ. අක්මාව ආශ්රිත රෝග තත්ව සමනය කිරීමේ විශිෂ්ට හැකියාවක් හීන් බෝවිටියා පත්ර වල පවතී.
ඖෂධීය ගුණ
- අක්මාවේ රෝග, විශේෂයෙන්ම සෙංගමාලය සහිත රෝග සහිත පුද්ගලයින්ට හීන් බෝවිටියා කැඳ ඉතාම ගුණදායකය.
- රුධිරගත මේද ප්රමාණය ඉහළ එමෙන්ම කොලෙස්ටරෝල් අවධානම ඇති පුද්ගලයන් සඳහා යහපත් වේ.
- පිළිකා නාශන හැකියාව ඇත.
- ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- තරමක මේරූ හීන් බෝවිටියා පත්ර යුෂ, පොල් හා කැකුළු හාල් සමග පිසගත් කැඳ ශරීරයේ අධික ඌෂ්ණ ස්වභාවය අවම කරයි.
වැල්පෙණෙල කොළ කැඳ
කෂාය මැල්ලුම් හා කැඳ ලෙස භාවිතයට ගන්නා වැල්පෙණෙල ඉහළ වාජීකරණ හැකියාවෙන් යුතු ඖෂධයක් ලෙස ග්රන්ථ වල සඳහන් වේ.
ඖෂධීය ගුණ
- ශුක්ර ධාතුව වර්ධනය කරයි.
- මුත්ර ආසාදන තත්ව මඟගරවා මුත්ර පිටකිරීමෙ අපහසුතා මගහරවයි.
- කෑම රුචිය වඩවයි.
- එසේම අර්ශස් රෝග සඳහා වැල් පෙණෙල දළු, කොහිල දළු හා රතුළූණු සම අනුපාතයෙන් ගෙන කොටා මිරිකා එම යුෂයෙන් කැඳ සකස්කර පානය කිරීම යහපත් වේ.
රණවරා කොළ කැඳ
තැඹිලි හෝ දීප්තිමත් කහ පැහැති මල් වලින් යුතු රණවරා ශාකයේ පංචාංගයම ඖෂධ පිණිස යොදාගනී. එසේම රණවරා පත්ර වලින් සාදාගන්නා කොළ කැඳ සෞඛ්ය තත්වය සංවර්ධනය පිණිස ප්රතිලාභ රැසක් ලබාදෙයි.
ඖෂධීය ගුණ
- පැහැපත් කරයි.
- රුධිරය පිරිසිදු කරයි.
- මුඛ ගත තුවාල නසයි.
- පිත් රෝග සමනය කරයි.
- මුත්රාබාධ සඳහා යෝග්යයි.
- කුෂ්ඨ රෝග, පණුරෝග නාශනය කරයි.
- කාන්තාවන්ගේ රක්ත ප්රදර නසයි.
ඉරමුසු කොළ කැඳ
සිහින් දිගු පත්ර වල මධ්ය නාරටිය දිගේ දක්නට ලැබෙන සුදු පැහැති ඉර ඉරමුසු හඳුනාගැනීමේ ප්රධාන ලක්ෂණයක් වන අතර මෙය අර්ධ පඳුරුමය කාෂ්ඨීය වැලක් ලෙස වැඩේ.
ඖෂධීය ගුණ
- ශරීර දාහය හා මුත්ර දාහය සමනය කරයි.
- ඇදුම වැනි පෙණහළු ආශ්රිත රෝග සඳහා ගුණදායී වේ.
- ස්ත්රී පුරුෂ වඳභාවයට යහපත් වේ.
- අකලට හිසකෙස් වැටීම නවතයි.
- සම පැහැපත් කරයි.
- ආහාර රුචිය වඩවයි.
කුප්පමේණිය කොළ කැඳ
කුඩා පැළෑටියක් ලෙස ගෙවතු වල ආයාසයකින් තොරව වැඩෙන පැළෑටියකි.
ඖෂධීය ගුණ
- වාතය සෙම් නසයි.
- ඇදුම රෝගයට විශේෂයෙන් ගුණදායී වේ.
- මලබද්ධතාවය දුරුකරයි
- පණුරෝග, කැස්ස, අර්ශස්, චර්ම රෝග, සන්ධි ඉදිමුම් ආදිය නසයි.
- මුත්රබද්ධ නාශනය කරයි.
වර්තමාන සමාජයේ බොහෝදෙනා ඉතාම වටිනා, සිරුරේ නිරෝගීබාවය ආරක්ෂා කිරීම පිණිස උපකාරී වන ස්වභාවික ශාක රාශියක් ඔවුන් අසලම තබාගෙන රෝග සඳහා අතවනන අහිතකර ආහාර රැසක් කමින් බොමින් ජීවත් වෙති. එහෙයින් ඔබේ උදෑසන ආහාරය පිණිස පෙර සඳහන් කල එක් කැඳ වර්ගයක් හෝ එක්කර ගැනීමෙන් එය ඔබේ ආහාර රටාවට හා සෞඛ්යට හිතකර වෙනසක් වනු ඇත.