
වර්තමානයේ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් තුලද බහුලව දැකගත හැකි බෝ නොවන රෝග තත්වයක් ලෙස මෙම ගැස්ට්රයිටිස් තත්වය දැක්විය හැක. මෙය ආයුර්වේදය තුල ආමාශයික ප්රදාහය යන නමින් හැඳින්වේ.
අප ගන්නා ආහාර මූලික වශයෙන් ජීර්ණයට ලක්වන්නේ ආමාශය තුළයි. ඒ සඳහා ආමාශය විසින් හයිඩ්රොක්ලෝරික් අම්ලය හා ආහාර ජීර්ණය සඳහා අවශ්ය අනෙකුත් එන්සයිම ස්රාවය කරයි. හයිඩ්රොක්ලෝරික් අම්ලය ඉතාම ප්රබල අම්ලයක් වුවද ආමාශය තුල පවතින ආරක්ෂක යාන්ත්රණ හේතුවෙන් සාමාන්ය තත්ව යටතේ ආමාශයික පටක වලට හානියක් නොකරයි. ආමාශය ආස්තරණය කරන ඇතුල් අපිච්චදයේ පවතින ශ්ලේෂ්මල ස්රාවී සෛල මගින් ස්රාවය කරන ශ්ලේෂ්මල, පරිවාරක ස්ථරයක් ලෙස ක්රියාකරමින් ආමාශයික බිත්ති ආරක්ෂා කරයි. මෙම ආමාශයේ ඇතුලත පවතින ශ්ලේෂ්මල ස්රාවය කරන සෛල ස්ථරය ප්රදාහයට ලක්වීම හේතුවෙන් ගැස්ට්රයිටිස් තත්වය ඇතිවේ.
මෙම ප්රදාහ තත්වයන්ට පහත සඳහන් හේතූන් බලපායි.
- බැක්ටීරියා ආසාදන (Helicobacter pylori)
- දීර්ඝකාලීන භාවිතය නිසා ආමාශයික ශ්ලේෂ්මල ස්ථරයට හානි කරන ඖෂධ වර්ග (NSAID, particularly aspirin)
- අධික ලෙස මද්යසාර භාවිතය
- මානසික ආතතිය
- ස්වයං ප්රතිශක්තිකරණ සංසිද්ධි (atrophic gastritis)
- ආමාශයේ සිදුකරන ලද ශල්යකර්ම
- ආහාර විෂවීම්
- අක්රමවත් ආහාර රටා
ගැස්ට්රයිටිස් රෝග තත්වය කොපමණ කාලයක් පුරා පවතීද යන්න මත කෙටිකාලීන ආමාශයික ප්රදාහය (Acute gastritis) හා දීර්ඝකාලීන ආමාශයික ප්රදාහය (Chronic gastritis) ලෙස ආකාර දෙකකි. මෙහි රෝග ලක්ෂණ පහත පරිදි වේ.
- ආහාර රුචිය නැතිවීම
- ශරීර බර අඩුවීම
- වමනය හා ඔක්කාරය
- ආහාර මාර්ගයේ ඉහළ ප්රදේශයේ ඇතිවන දාහමය තත්වය
- බඩ පුරවාදැමීම
- ඉතාම දරුණු අවස්ථා වලදී ලේ සහිත වමනය
දීර්ඝකාලීන ලෙස පවතින ආමාශයික ප්රදාහ තත්ව දරුණු තත්වයට පත්වීමෙන් ආමාශය තුල තුවාලවීම් හා ලේ ගැලීම් ඇතිවීමේ තත්වයන් ඇතිවිය හැක. ඒ හේතුවෙන් කළු පැහැයෙන් යුත් ලේ සහිත මල පිටවීම දැකගත හැකිය. එමෙන්ම මෙම තත්වයන් යම් දිනෙක ආමාශයික පිළිකා තත්වයක් දක්වා වර්ධනය වීමේද අවධානමක් පවතී. එමනිසා ගැස්ට්රයිටිස් වලට මුල් අවස්ථාවේම ප්රතිකාර ලබා සුවපත්වීම ඉතා යහපත් වේ.
මෙම ගැස්ට්රයිටිස් තත්වයන් සඳහා සුදුසු විශේෂ ප්රතිකාර ක්රමවේද ආයුර්වේද වෛද්ය විද්යාව තුල සඳහන් වන අතර එමගින් රෝගියාට පූර්ණ සුවය ලබාගැනීමේ හැකියාවක් ඇත.
ගැස්ට්රයිටිස් හෙවත් ආමාශයික ප්රදාහය සඳහා ආයුර්වේදීය ප්රතිකාර ක්රම කිහිපයක් පහත දැක්වේ.
- අරළු, සෙනෙහෙකොළ, පෙතිපුවක්, කරපිංචා නැටි කලං 3 බැගින් ගෙන පිරිසිදු මුට්ටියකට දමා ඊට වතුර පත 8ක් එක්කර පත 1 දක්වා හිඳුවාගන්න. එයින් පත භාගයක් සහිඳ ලුණු තේහැන්ඳක් සමඟ කලවම් කර උදෑසන හිස්බඩ පානය කිරීම. මෙම ප්රතිකාරය සිදුකරන කාල සීමාවේදී උෂ්ණාධික ආහාර හා මාංස ආහාර ගැනීමෙන් වළකින්න. එමෙන්ම උදෑසන ආහරය ලෙස ලුණුකැඳ පානය කරන්න.
- මුරුංගා කොළ මිටක් ගෙන ඇල්වතුරෙන් අඹරා මුදවපු කිරි හා යෝගට් සමඟ මිශ්ර කර උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම.
- පත්පාඩගම්, සැවැන්දරා මුල්,බෙලි මුල්, බෙලි දළු සම සමවගෙන වියළා කුඩුකර උණුදියට එක්කර තැම්බෙන්නට වසා තබා නිවුණ පසු පෙරා උක් හකුරු සමඟ පනය කිරීම.
ආයුර්වේදයට අනුව රෝගයක් සෑදීමට පෙර ඉන් වැළකීසිටීම වඩා අගනේය. ඒ අනුව ගැස්ට්රයිටිස් තත්වයෙන් මිදීම සඳහා රෝගියා පහත සඳහන් කරුණු අනුගමනය කිරීම යෝග්ය වේ.
- වීර්ය විරුද්ධ ආහාර අනුභවයෙන් වැළකීම
- අබ, විනාකිරි වැනි විදාහී ද්රව්ය අඩංගු අච්චාරු වැනි ආහාර ගැනීමෙන් වැළකීම
- ඉස්සන්, දැල්ලන්, තක්කාලි වැනි උෂ්ණාධික ආහාරපාන ගැනීම සීමා කිරීම
- සැර හා ඇඹුල් රස අධික ආහාර නිතර ආහාරයට ගැනීමෙන් වැළකීම
- පාන්පිටි වලින් සැදුම්ලත් ආහාර සීමා සහිතව ගැනීම
- නියමිත වේලාවට ආහාර ගැනීමට පුරුදුවීම
- උදෑසන ආහාර වේල මගනොහැරීම
- එක් ආහාර වේලකින් පසුව එය දිරවීමට පත්වන තුරු නිතර නිතර ආහාර ගැනීමෙන් වැළකීම
- මළ, මුත්ර වේග ධාරණයෙන් වැළකීම
- මත්පැන් හා දුම්වැටි වලින් වැළකීම
- ප්රමාණවත් පරිදි ජලය පානය කිරීම
- ප්රමාණවත් නින්දක් ලබාගැනීම හා ආහාර ගත් විගස නිදාගැනීමෙන් වැළකීම
- බටහිර ඖෂධ (NSAID, aspirin වැනි..) හා ආයුර්වේද ඖෂධ වෛද්ය නිර්දේශයකින් තොරව භාවිතා කිරීම හා අධිමාත්රාවෙන් යුක්තව භාවිතයෙන් වැළකීම.
ගැස්ට්රයිටිස් රෝගීන් මේදය සහිත ආහාර අවම වන සේ වැඩිපුර එලවළු වර්ග ඇතුලත් සමබල ආහාර වේලක් ලබාගත යුතුය. තවද වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, බතල, කැරට්, බෝංචි වැනි එලවළු වර්ග, කවුපි,මුං ඇට වැනි ධාන්ය වර්ග, නිවිති, තම්පලා වැනි පලා වර්ග, තැඹිලි, කුරුම්බා, පොල් වතුර පානය කිරීම, කුඩා මාළු, මේදය අවම මස් වර්ග, ඇපල්, කොමඩු වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීම ගැස්ට්රයිටිස් රෝගීන් සඳහා උචිත වේ.
ගැස්ට්රයිටිස් සඳහා එක් හේතුකාරකයක් ලෙස මානසික ආතතිය දැක්වේ. මෙම මානසික ආතතිය සමනය කරගනිමින් ගැස්ට්රයිටිස් සුවකරගැනීම සඳහා සුදුසු ආයුර්වේදය තුල සඳහන් වන යෝග ක්රම කිහිපයක් ලෙස වජ්රාසන, විපරීත කරණි ආසන හා උත්තානපාදාසන දැක්විය හැක. තවද මෙම යෝගක්රම මගින් උදරයේ මාංශපේශී ශක්තිමත් කරන අතර, සමුච්චිත වාතය සිරුරෙන් බැහැර කිරීමට උපකාරී වේ.
මේ අනුව වයස් භේදයකින් තොරව වර්තමාන සමාජයේ බහුලව පවතින ගැස්ට්රයිටිස් තත්වය ආයුර්වේද වෛද්ය ශාස්ත්රයේ දක්වා ඇති මහඟු ඖෂධයන්ගේ බලයෙන් සමනය කරගැනීමට ඔබටත් හැකියාව ඇත.