loader

අප ශරීරය තුල පවතින අන්තරාසර්ග ග්රන්ථීන් අතුරින් අපගේ පරිවෘත්තීය ක්රියා යාමනය හා ශරීර වර්ධනය කෙරෙහි විශේෂ දායකත්වයක් සපයන ග්රන්ථීයක් ලෙස තයිරොයිඩ් ග්රන්ථිය දැක්වියහැක. මෙය ප්රධාන ඛණ්ඩිකා දෙකකින් සමන්විත වන අතර අපගේ ස්වරාලයට මඳක් පහතින් ගෙලේ ඉදිරිපසට වන්නට පිහිටයි. මින් හයිපොතැලමස හා පිටියුටරි ග්රන්ථීන්ගේ උත්තේනය මත ස්රාවය කරන ප්රධාන හෝර්මෝන වර්ග දෙකකි. ඒවා නම් තයිරොක්සීන් (T4) හා ට්රයිඅයඩොතයිරොනීන් (T3) ය. මෙම ලිපියෙන් තයිරොක්සීන් හෝර්මෝනය හා ඉන් ඇතිවන සංකූලතා පිළිබඳව සලකාබැලීම සිදුකරයි.

    තයිරොයිඩ් ග්රන්ථය මගින් තයිරොක්සීන් හෝර්මෝනය රුධිරයට නිදහස් කල පසු එය අක්මාව, වකුගඩු ආදී අවයව වෙත ගමන් කර එහි ක්රියාකාරී සංයෝගය වන ට්රයිඅයඩොතයිරොනීන් (T3) බවට පත්වේ. මෙය හෘද ක්රියාකාරීත්වය, ආහාර ජීර්ණය, පරිවෘත්තිය, මොළය වර්ධනය, අස්ථි වල නීරෝගීතාව ආදී ක්රියාවලි රැසකට දායකත්වය සපයයි. එමනිසා තයිරොක්සීන් හෝර්මෝනය සාමාන්ය මට්ටමට වඩා අඩුවීම හෝ වැඩිවීම රෝග ඇතිකිරීමට හේතුවේ. එය පහත පරිදි දැක්වියහැක.

අධි තයිරොයිඩතාවය (Hyperthyroidism) – පුද්ගලයෙකුගේ ශරීරය තුල සාමාන්ය තයිරොක්සීන්  මට්ටමට වඩා තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමයි.

මෙයට graves disease, සිරුරේ ඇති අයඩින් ප්රමාණය අධික වීම, තයිරොයිඩ් ග්රන්ථියේ සිදුවන ප්රදාහ තත්වයන් (thyroiditis),  තයිරොයිඩ් ග්රන්ථීයේ ඇති පිළිකා තත්ව හා සමහර ඖෂධ වර්ග හේතු වියහැක. කාන්තාවන්ට මෙම රෝගය වැළඳීම පිණිස පුරුෂයින්ට වඩා වැඩි සම්භාවිතාවයක් ඇති අතර, පවුලේ රෝග ඉතිහාසය, අයඩීන් අධික ආහාර හා ඖෂධ  බහුලව ගැනීම, වයස අවුරුදු 60 වඩා වැඩිවීම හා ගර්භනී බව අධි තයිරොයිඩතාවයට (Hyperthyroidism ) අවදානම් සාධක වේ. මෙහි රෝග ලක්ෂණ පහත පරිදි වේ.

  • ශරීරයේ බර අඩුවීම
  • ආහාර රුචිය වැඩිවීම
  • හෘද ස්පන්ධන වේගය වැඩිවීම
  • උෂ්ණත්වයට අධික ලෙස සංවේදීවීම
  • තෙහෙට්ටුව
  • තයිරොයිඩ් ග්රන්ථීය විශාලවීම (goiter)
  • සුවපහසු නින්දක් නොලැබීම
  • කාංසාව හා නුරුස්සනා ස්වභාවය 

මන්ද තයිරොයිඩතාවය (Hypothyroidism) – පුද්ගලයෙකුගේ ශරීරය තුල සාමාන්ය තයිරොක්සීන්  මට්ටමට වඩා අඩුවෙන් තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමයි.

Hashimoto’s thyroiditis, තයිරොයිඩ් ග්රන්ථීයේ සිදුකල ශල්යකර්ම, උපතේදීම තයිරොයිඩ් ග්රන්ථීයේ සිදුවන දෝෂ තත්ව, පිටියුටරි ග්රන්ථීයේ රෝග, සමහර ඖෂධ මීට හේතුවිය හැක. මෙහි රෝග ලක්ෂණ පහත පරිදි වේ.

  • තෙහෙට්ටුව
  • ශරීරයේ බර වැඩිවීම
  • සීතලට අධික ලෙස සංවේදීවීම
  • මලබද්ධතාවය 
  • සමෙහි වියලිබව
  • හෘද ස්පන්ධන වේගය අඩුවීම
  • මානසික ආතතිය 
  • තයිරොයිඩ් ග්රන්ථීය විශාලවීම (goiter)
  • මාංස වල වේදනාව 
  • ස්ත්රීන්ගේ මාසික ඔසප්චක්රයේ වෙනස්වීම්

 ගර්භණී බව හා තයිරොක්සීන් සංකූලතා 

   ගර්භනී අවධිය තුලදී හටගත්, ඉහත සඳහන් කල තයිරොක්සීන් සංකූලතාවන් නිසා හටගන්නා රෝගයන් මවට හා දරුවාට අහිතකර ලෙස බලපෑම් එල්ලකර හැකිය. මේ හේතුවෙන් ගබ්සා වීම්, නොමේරූ දරු උපත් ඇතිවීම, මළ දරු උපත් ඇතිවීම, අඩු බර දරු උපත් ඇතිවීම, ගර්භනී අවධියේ අවසන් සති වල රුධිර පීඩනය අහිතකර ලෙස ඉහළයාම සිදුවිය හැක. එමනිසා ගර්භනී සමයේ තයිරොක්සීන් මට්ටම පිලිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්වේ.

   මෙම Hyperthyroidism හා hypothyroidism යන අවස්ථා දෙක නිසාම තයිරොයිඩ් ග්රන්ථියේ අසාමාන්ය ලෙස විශාල වීමක් දැකගත හැකිවේ. එය ගලගණ්ඩය ලෙස ව්යවහාරයේ හැඳින්වේ. 

ගලගණ්ඩය (Goiter) – ගලගණ්ඩය හෙවත් වායුගෙඩි හෝ අයඩීන් ගෙඩි ලෙස හඳුන්වන මෙය ප්රධාන වශයෙන් අයඩීන් ඌණතාවය නිසා හටගනී. තයිරොක්සීන් ඇතුළු තයිරොයිඩ් හෝර්මෝන් නිපදවීම සඳහා අයඩීන් යනු අත්යවශ්ය සංඝටකයකි. අයඩීන් ඌණතාවය නිසා තයිරොක්සීන් නිෂ්පාදනය අවමවන අතර මේ හේතුවෙන් තයිරොක්සීන් සංයුතිය සාමාන්ය ප්රමාණයට වඩා අඩුවේ. මේ හේතුවෙන් තයිරොක්සීන් සංයුතිය සාමාන්ය ප්රමාණයට ගෙන ඒම සඳහා තයිරොක්සීන් නිෂ්පාදනය පිණිස තයිරොයිඩ් ග්රන්ථීයට බලපෑම් එල්ලකරයි. දිගින් දිගටම සිදුවන තයිරොයිඩ් ග්රන්ථීයේ උත්තේජනය නිසා තයිරොයිඩ් ග්රන්ථීය විශාල වීම සිදුවේ. මෙහිදී පහත ලක්ෂණ මූලික වශයෙන් ඇතිවේ.

  • හුස්ම ගැනීමේ අපහසුව
  • කටහඬ වෙනස්වීම
  • ආහාර ගිලීමේ අපහසුව
  • තයිරොක්සීන් හෝර්මෝනය අධික ලෙස ඉහළ යෑමේදී (Hyperthyroidism) ඇතිවන ලක්ෂණ 
  • තයිරොක්සීන් හෝර්මෝනය අධික ලෙස පහත යෑමේදී (Hypothyroidism) ඇතිවන ලක්ෂණ 

   මෙම තත්වය සුවකිරීම සඳහා බටහිර වෛද්ය විද්යාව තුල බොහෝවිට සැත්කම් භාවිතා කලද මෙම ග්රන්ථීය ආශ්රිතව අපගේ කටහඬ නිපදවීමට උපකාරී වන ස්වරතන්ත්ර පිහිටා ඇති බැවින් ශල්යකර්ම අතරතුරදී ඒවාට හානියක් සිදුවීමේ අවධානමක් පවතී. නමුත් ආයුර්වේද වෛද්ය විද්යාව තුල ශල්යකර්ම වලින් තොරව ගලගණ්ඩය සුවකිරීමේ හැකියාවක් පවතී. මෙහිදී තෙල්, ආලේපන, ගුලි, කෂාය ආදිය උපයෝගී කරගෙන බෙල්ලේ මහත්වූ ස්වභාවය ඉවත් කරමින් රෝගය සුවපත් කරයි.

   මෙම රෝගීන්ගේ ශරීර බර අඩුවීම හෝ වැඩිවීම වියහැකි බැවින් ව්යායාම හෝ යෝගක්රම සිදුකිරීම මගින් උසට සරිලන බරක් පවත්වාගැනීමට උත්සුක විය යුතුය. එසේම මෙම තයිරොක්සීන් හෝර්මෝනයේ වෙනස්වීම මත ඇතිවන මානසික ආතතිය මගහරවා ගැනීමට භාවනාක්රම ආදිය අනුගමනය කිරීමද යහපත් වේ. එමෙන්ම තයිරොයිඩ් ග්රන්ථය ආශ්රිතව අයඩීන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන නිසාවෙන් සුදුසු ප්රමාණයෙන් අයඩීන් ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. එසේම ගෝවා, මල්ගෝවා වැනි ආහාර ගලගණ්ඩය ඇතිවීම උත්තේජනය කරන අතර එම ආහාර ගැනීමෙන් හැකිතාක් වැළකිය යුතුය. එසේම ඉස්සන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර සීමාසහිතව ආහාරයට ගතයුතුය. අතීතයේ සිට පැවත එන වෛද්ය ක්රමයක් වන ආයුර්වේදය තුල මෙම සෞඛ්ය ගැටලු සඳහා සාධනීය විසඳුම් ඇති අතර පලපුරුදු වෛද්යවරයෙකු හමුවී ප්රතිකාර ලබාගැනීම මගින් ඔබට සුවපත් දිවියක් ලඟාකර ගතහැකිය.

Leave a Reply