loader

පීනස යනු වර්තමානය වන විට බොහෝදෙනෙකුට වැළඳී ඇති සහ ඔවුන්ගේ එදිනෙදා කටයුතු අඩාල කරන රෝගී තත්වයකි. ආයුර්වේදයට අනුව නාසය හා සම්බන්ධ රෝග 31ක් පවතින අතර පීනසද ඊට ඇතුලත් එක් රෝග කාණ්ඩයකි. පීනස නැවත වාත පීනස, සෙම් පීනස, පිත් පීනස, ලේ පීනස, ගල් පීනස, ලය පීනස ආදී ලෙස ඒවාට විශිෂ්ඨ වූ රෝග ලක්ෂණ අනුව නැවත කොටස් 18ක්ට බෙදා දක්වා ඇත. 

   යම්කිසි පුද්ගලයෙකුට පීනස රෝගය ඇතිවීමට හා එය උග්ර තත්වයට පත්වීමට ඔහුගේ ඇවතුම් පැවතුම් හේතුකාරක වේ. එසේම පරම්පරාගතව පීනස රෝගය ඇතිවීමද දැකගත හැක. බොහෝවිට ශීතකල ආහාර පාන භාවිතය, රාත්රී කාලයේ ස්නානය කිරීම, වායුසමීකරණය කල ස්ථාන වල බොහෝවේලා රැඳීසිටීම, දහවල් කාලයේ නිදාගැනීම, සෙම් කෝප කරවන ආහාර පාන ගැනීම, රාත්රියේ නිදිමැරීම, විදුලි පංකා ක්රියාත්මක කර නිදාගැනීම,  අධික ලෙස දූවිලි සහිත ස්ථාන වල රැඳීසිටීම ආදී අහිතකර  විහරණ හේතුවෙන් පීනස රෝගීන්ගේ රෝගී තත්වය උත්සන්න වියහැක. එසේම, මීට අමතරව කාලගුණික හා දේශගුණික තත්ව වල වෙනස්කම්, මල් වල පරාග, මකුළුදැල්, සතුන්ගේ ලෝම හා විවිධ ආහාර වලට දක්වන ආසාත්මිකතා නිසාද, සෙම්ප්රතිශ්යාව වැනි නාසය ආශ්රය කරගත් රෝග වල නිසිපරිදි ප්රතිකාර නොකිරීම නිසාද පීනස තත්වය ඇතිවිය හැක. 

   මෙවැනි හේතූන් නිසා පීනස ඇතිවූ රෝගීන්ගේ පහත රෝග ලක්ෂණ බහුලව දැකගත හැකිය.

  • උදෑසන කාලයේ අධික ලෙස කිවිසුම් යාම
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • නාසය කැසීම
  • උගුර කැසීම හා නිතරම උගුර පෑදිම
  • උදෑසන අවදි වූ විට නාසයේ සිට උගුරට සෙම ගලාඒම
  • නාසය අවහිර වී හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනීම
  • රාත්රියේ නාසය අවහිරවී ඇති නිසා නින්දට බාධා ඇතිවීම
  • හිසේ බරබව හෝ හිසරදය
  • ඇස් කැසීම හා ඇස් රතුවීම
  • ගඳ සුවඳ නොදැනීයාම හෝ හඳුනාගැනීමේ අපහසුව

  නාසය සම්බන්ධ බොහෝ රෝග වලදී ඉහත ලක්ෂණ දැකගත හැකිවන බැවින් වෛද්යවරයෙකු හමුවී රෝග නිර්ණය කරගැනීම ඉතාම වැදගත්වේ. ඉහත දැක්වූ රෝග ලක්ෂණ වලට අමතරව, දීර්ඝකාලීන පීනස තත්වය හා ඊට නිසි ආකාරයෙන් ප්රතිකාර නොකිරීම හේතුවෙන් විවිධ සංකූලතා ඇතිවිය හැක. නාසයේ මස්දළු ඇතිවීම, කෝටරක ප්රදාහයට ලක්වීම, නාසයෙන් රුධිරය ගැලීම, කටහඬ වෙනස්වීම, මුඛයෙන් දුර්ගන්ධක් හැමීම, සමේ වර්ණය දුර්වර්ණ වීම, හිසකේ සුදුවීම ඊට උදාහරණ වේ.

   පීනස තත්වය සඳහා අභ්යන්තරට ගන්නා කෂාය, චූර්ණ, කල්ක වැනි ඖෂධ මෙන්ම බාහිරින් සිදුකරන හිස ගැල්ලුම් හා හිස් තැවිලි වැනි ප්රතිකාර ක්රමද ආයුර්වේදයේ පවතී. පීනස සඳහා සිදුකල හැකි ප්රතිකාර පන්තියක් පහත සඳන් කර ඇත.

  1. පීනස සඳහා කෂාය වට්ටෝරුවක්

සිරිතේක්කු, කර්කටකශෘංගී, සුවඳකොට්ටං, වදකහ, කොත්තමල්ලි, වියළි ඉඟුරු යන සෑම එකෙන්ම කලං 2 බැගින් ගෙන ජලය පත 8ක් දමා පත 1ක් වනතුරු සිඳුවාගන්න. මින් පත භාගය බැගින් උදේ සවස පානය කරන්න. දින 10ක් මෙම ප්රතිකාරය සිදුකර ඉදිරි දින 10 කෂාය ගැනීම නවත්වා, එතැන්සිට දින 10ක් නැවත කෂාය පෙරකී ලෙසට පානය කරන්න.

  1. පීනසත් සමග ඇතිවන හිසරදයට හිස ගැල්ලුමක්

රතු පිටවක්කා, කීකිරිඳිය, මුකුණුවැන්න, කෝවක්කා කොළ, තැල් කොළ, බෙලි කොළ, මුංඇට, ගම්මිරිස් යන මේවා තැඹිලි වතුරෙන් අඹරා හිසේ ගන්න. පැය හතරකින් පමණ පසු හිස සෝදාහරින්න.

  1. හිස තැවීමට ඖෂධ වට්ටෝරුවක්

නික කොළ, වරා කොළ, මුරුංගා කොළ, සුදුලූණු, පොල් රොඩු සම ප්රමාණ ගෙන එකට කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා හිස තවන්න.

  1. කල්ගිය පීනසට අත්බෙහෙතක්

වියළි ඉඟුරු, අරළු සම සමව ගෙන කබලෙ බැද කුඩුකර උතුරන වතුරට දමා තැම්බෙන්න තබා පෙරා දිනපතා උදෑසන පානය කරන්න.

   එසේම ප්රතිකාර ලබන අතරතුර හා ඔබට පීනස තත්වයක් ඇත්නම් ඉන් අත්මිදීම සඳහා පහත විහරණ විධි අනුගමනය කිරීම යෝග්ය වේ.

  • පීනස රෝගීන් රාත්රී කාලයේ හා අවේලාවේ ස්නානය කිරීමෙන් වැලකිය යුතුය. පීනස රෝගීන් සඳහා නෑමට සුදුසුම වේලාව වන්නේ උදය කාලයයි. දහවල් 12ට පෙර ස්නානය කිරීම වඩා යහපත් වේ.
  • ශීතකල ආහාරපාන අනුභවයෙන් වැලකිය යුතුය. එසේම තක්කාලි,කිරි, බිත්තර, මෑකරල්, බණ්ඩක්කා වැනි සෙම් කෝප කරවන ආහාරපාන නිතරම අනුභවයෙන්ද වැලකිය යුතුය.
  • මද උණුසුම් වතුර පානය කිරීම.
  • අධික ලෙස දූවිලි පවතින ස්ථාන, ලොම් සහිත සතුන්ගෙන් ඈත්වී සිටීම.
  • රාත්රී කාලයේ එලිමහනේ සිටීම, උදෑසන පින්නට නිරාවරණය වීමෙන් වැලකීම.
  • වායුසමීකරණය කරන ලද කාමර හා විදුලි පංකා ක්රියාත්මක කර නිදාගැනීමෙන් වැලකීම.
  • ප්රමාණවත් නින්දක් ලබාගැනීම.

   එසේම පවනමුක්තාසන, සේතු බන්ධාසන, වීරභද්රාසන, ත්රිකෝණාසන, අර්ධ චන්ද්රාසන ආදී යෝගාසන මගින් පීනස රෝගයට මහත් සහනයක් ලබාගැනීමට හැකිය. තවද විටමින් C අඩංගු ආහාර, ගොටුකොල, රතුළූණු ආදී ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීම යෝග්ය වේ.

   ආයුර්වේද ඖෂධ අනුසාරයෙන් පීනස රෝගයට ප්රතිකාර කිරීමේදී රෝගය උත්සන්න තත්වයට පත්වේ යැයි දුර්මතයක් බොහෝදෙනා අතර පවතින නමුදු පලපුරුදු ආයුර්වේද  වෛද්යවරයෙකු රෝගියාගේ රෝගී තත්වය නිසි අයුරින් පරීක්ෂා කර නිර්දේශ කරන ඖෂධ මගින් එවැනි තත්වයක් කිසිවිටෙකත් ඇතිනොවන අතර එමගින් රෝගය මනාලෙස පාලනය කරගත හැක.

Leave a Reply