loader

මිග්‍රේන් ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවට අනුව ප්‍රධාන ශිරෝරෝග 11ක් පිලිබඳව කරුණු සඳහන් කරඇත. ඒ අතුරින් වඩාත් බහුලව පැතිරුනු හා රෝගීන්ට ඉතාම අපහසුවක් ඇතිකරන තත්වයක් ලෙස ඉරුවාරදය දැක්විය හැකිය. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිග්‍රේන් ලෙස හැඳින්වේ.

   මෙහිදී ඉර උදාවත් සමඟ ආරම්භ වන රෝග ලක්ෂන දහවල ඉර මුදුන්වීමේදී උත්සන්න තත්වයකට පත්වී පසුව ඉර බැසීමත් සමඟ කෙමෙන් සමනය වීම සිදුවේ. ප්‍රධාන වශයෙන් මෙහිදී හිසේ එක් පසෙක හෝ හිසේ දෙපසම හෝ හිස පුරා ගමන් කරන වේදනාවක් ඇති කරයි. හිසරදයත් සමඟ ඇතිවන ඔක්කාරය හෝ වමනය ඇතිවිය හැක. බොහෝ අවස්ථාවන් වලදී වමනයෙන් පසු රෝගියාට යම්කිසි සහනයක් දැනේ. තවද සමහර රෝගීන්ට ඔවුන්ගේ ඇස් වටා, කෝටරක ආසන්නව හෝ හනු ආසන්නව වේදනාවක් ඇතිවන අවස්ථා ඇත. එසේම තද ආලෝකය, ඝෝෂාකාරී ශබ්ධ වලට මෙම රෝගීන් සංවේදී වන අතර එවිටද හිසරදය මතුවීම සිදුවිය හැක. සම සුදුමැලි වීම, ශරීරය දුර්වල වීම හා පෙනීමෙහි බොඳවීමක් ඇතිවීම අනෙකුත් රෝග ලක්ෂන ලෙස දැක්විය හැක. නමුත් සමහර අවස්ථා වලදී මින් පරිභාහිරව රාත්‍රී කාලයේ හිසරදය ඇතිවන අවස්ථාද ඇති අතර එය රෝගීන්ගේ ප්‍රකෘතිය මත රඳාපවතී.

   මෙම තත්වයන් ප්‍රතිකාරයකින් තොරවම පැය 4 – 72 කාලය ඇතුලත සමනය වන අතර එක් එක් පුද්ගලයාට අනුව රෝග ලක්ෂන හා මිග්‍රේන් ඇතිවන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

  මෙය ආයුර්වේදයේ එන වාත, පිත, කඵ යන ත්‍රිදෝෂයම හා සම්බන්ධ රෝගයක් වන අතර පිත් දෝෂය මගින් වැඩි බලපෑමක් ඇති කරයි. මිග්‍රේන් සඳහා හේතුවන කරුණු පහත දැක්වේ.

  • ජානමය බලපෑම
  • කැෆේන් අඩංගු පාන වර්ග බහුලව භාවිතය
  • මත්පැන් පානය
  • අධික ලෙස ලුණු අඩංගු ආහාර ගැනීම
  • ආහාර වේල් මඟ හැරීම
  • මානසික ආතතිය
  • නිසි පරිදි නින්ද නොලැබීම
  • සමහර ඖෂධ වර්ග
  • කාලගුණික විපර්‍යාස

මෙම තත්වයන් මිග්‍රේන් තත්වය නරක අතට හැරීමට හේතුවේ.

   කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හා සබැඳි හෝර්මෝනමය වෙනස්කම්ද මීට හේතු වන අතර එම නිසා පුරුෂයින්ට වඩා කාන්තාවන්ට මෙම රෝගය වැලඳීමේ අවධානම ඉහළය.

   නමුත් මෙම මිග්‍රේන් තත්වය සඳහා ප්‍රතිකාර ක්‍රම, ආහාර විහරණ ක්‍රම හා අත්බෙහෙත් රාශියක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වේ. මෙම රෝගය ප්‍රධාන වශයෙන් පිත මූලික කරගත් රෝගයක් නිසා පිත සමනය කිරීම සඳහා ක්‍රියාකරයි. මෙහිදී චිකිත්සා ක්‍රම ලෙස නස්‍ය කර්ම, හිසේ ඖෂධීය තෙල් ගැල්වීම, ඉසකුලිත්ති ලීම, නලලට ඖෂධීය ද්‍රව්‍ය අඩංගු පැලැස්තර දැමීම, ශරීර අභ්‍යන්තරට කෂාය ආදී ඖෂධ ගැනීමට නියම කිරීම ආදිය දැක්විය හැක.

   එසේම මිග්‍රේන්හීදී ඇතිවන අධික හිසරදය හා මානසික පීඩනය අවම කරගැනීම සඳහා  අධෝමුඛ ශ්වනාසන, හස්තපාදාසන, ශිශු ආසන ආදී යෝග අභ්‍යාසයන්ද ආයුර්වේදයේදී භාවිතා කරයි.

 මෙම චිකිත්සා ක්‍රම රෝගියාගේ රෝගී තත්වය, ප්‍රකෘතිය හා බලාබලත්වය අනුව  ආයුර්වේද වෛද්‍යවරයාගේ නියමයෙන් සිදුවේ.

   ඉරුවාරදය සඳහා ප්‍රතිකාර පන්තියක් පහත දැක්වේ.

  1.   පලමු දින දෙක තුල මෙම ප්‍රතිකාරය සිදුකල යුතුය.

අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, කොහිල පොතු, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8ක් දමා එය පත 1ක් දක්වා සිඳුවාගනී. ඉන් පත 1/2ක් ගෙන සහිඳ ලුණු තේහැඳි 1/2ක් දමා කලවම් කර උදෑසන පානයට ගතයුතු අතර ඉතිරි පත 1/2, සීනි තේ හැඳි 1 ක් දමා සවසට පානය කරන්න.

  1.   තුන් වන දිනයේ සිට දින 8ක කාලයක් පහත සඳහන් ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කලයුතුය.

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සුවඳ කොට්ටං, වියළි කහ, හීන් අරත්ත අල, වද කහ කලං 1 ½  බැගින් ගෙන වතුර පත 8ක් දමා පත 1ට සිඳුවා, පත භාගය බැගින් අනුපානයට සීනි හා මී පැණි තේ හැඳි 1 බැගින් එක් කර උදේ හා සවස පානය කරන්න.

  1.   දෙවන ප්‍රතිකාරය කරනා අතරතුර රාත්‍රී නින්දට පෙර, යකිනාරං කොළ හා පොතු හීන් මදුරුතලා හීනියට කපා මිට බැගින් ගෙන පිරිසිදු මැටි මුට්ටියකට දමා ප්‍රමාණවත් පරිදි වතුර එක් කොට නෑඹිලියකින් වසා උතුරන උෂ්ණත්වය තෙක් රත් කරන්න. මින් නගින දුම නාසයට ආඝ්‍රාණය කරන්න. මෙය විනාඩි කිහිපයක් සිදුකරන විට සෙම බුරුල් වී නාසයෙන් සොටු දියර ගලා ඒම සිදුවේ. සොටු හා උගුරට එන සෙම කාරා ඉවත් කරන්න.

   මෙම ප්‍රතිකාර වල නියැලෙන අතරතුර ඇල්වතුරෙන් නෑම හෝ ඇඟ සේදීම නොකල යුතුය. එසේම චොක්ලට්, චීස්, අධික ලුණු රස හා ඇඹුල් රස ආහාරද, කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන්ද වැලකිය යුතුය. පරණ ගිතෙල් හා හීනටි සහල් අනුභවය ඉරුවාරදයට පත්‍ය බව දක්වා ඇත. එසේම ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, පෝෂණීය ආහාර වේලක් ලබාගැනීම, ආහාර වේල් මගහැරීමෙන් වැලකී සිටීම කල යුතු අතර ජංගම දුරකථන සීමාසහිතව භාවිතා කලයුතුවේ. වේදනානාශක අධික ලෙස භාවිතයද මිග්‍රේන් ඇතිවීමට හේතුවක් වියහැක.

   මිග්‍රේන් තත්වය ඇතිවීමට හේතුවන කරුණු එකිනෙකාගෙන් වෙනස්වන හෙයින් පලපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය මනාලෙස පාලනය කරගත හැක.

Leave a Reply