
මුත්රගල් ලෙස වර්තමානයේ බහුලව ව්යවහාරයේ පවතින රෝගී තත්වය ආයුර්වේදය තුල වෘක්ක අශ්මරී නැතහොත් මුත්ර අශ්මරී ලෙස හඳුන්වනු ලබයි. මෙහිදී අශ්මරී ලෙසින් ‘ගල්’ යන්න අර්ථ දැක්වේ. මුත්රගල් යනු ඔබේ වකුගඩු තුල ඇතිවන ඛනිජ හා ලවණ වලින් සැදුම්ලත් ඝන තැම්පතු වේ. මුත්ර වල පවතින ඛනිජ, ලවණ හා අපද්රව්ය සාන්ද්රවීම මගින් ස්ඵටිකීකරණය සිදුවීමෙන් මුත්රගල් ඇතිවේ. මෙම මුත්රගල් ඉතාම කුඩා ප්රමාණ වල සිට මිදි ගෙඩියක ප්රමාණය දක්වා වර්ධනය වියහැක. මෙම තත්වය ඔබේ වකුගඩු වල සිට මුත්රාශය, මුත්ර නාලිකා ආදී මුත්රණ ව්යුහයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැක.
මෙම මුත්රගල් ඒවායේ සංයුතිය අනුව වර්ග කර දක්වයි.
- කැල්සියම් ගල් (calcium stones) – 80% ක පමණ රෝගීන් තුල දැකගත හැකිවන්නේ මෙම විශේෂයයි. මෙය කැල්සියම් ඔක්සලේට් (calcium oxalate) තත්වයෙන් පවතී.
- යූරික් ඇසිඩ් ගල් (uric acid stones) – 5% -10% පමණ රෝගීන් තුල මෙම තත්වය දක්නට ලැබේ. නිදන්ගත පාචනය, අධික ප්රෝටීනමය ආහාර බහුලව භාවිතා කිරීම, දියවැඩියාව හා පරම්පරාගත මුත්රාගල් ඇතිවීම මෙම තත්වය ඇතිවීමට හේතූන් වේ.
- සිස්ටින් ගල් (cystine stones) – මෙය Cystinuria නම් පරම්පරාගත රෝගී තත්වය නිසා අධික ලෙස වකුගඩු මගින් ඇමයිනෝ අම්ලය බැහැරවීමෙන් ඇතිවේ.
- ස්ටුවට් ගල් (struvite stones) – බැක්ටීරියා මගින් සිදුවන මුත්රා ආසාදන තත්වයකට ප්රතිචාරයක් ලෙස ඇතිවේ.
මෙම මුත්රගල් ඇතිවීම කෙරෙහි බලපාන නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි නමුත් ඔබේ මුත්රා වල කැල්සියම් ඔක්සලේට්, යූරික් ඇසිඩ් වැනි මුත්රගල් සෑදීමට හේතුවන සංඝටක බහුලව අන්තර්ගතවීම, එමනිසා ඔබේ මුත්ර අධික ලෙස සාන්ද්ර තත්වයට පත්වීම, එසේම මෙම ද්රව්ය ස්ඵටිකීකරණය වීම වලක්වන ද්රව්ය අවම වීම මෙම තත්වය උත්තේජනය කරවයි.
සමහරවිටෙක ඇතැම් රෝගීන් තුල හටගන්නා මුත්රගල් ඉතාම සියුම් ඒවා වන අතර ඒවා කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වාම මුත්රා සමග බැහැර වියහැක. නමුත් සමහරවිටෙක මෙම මුත්රගල් තරමක් විශාල තත්වයට පත්ව රෝගියාට ඉමහත් වේදනාකාරී තත්වයක් අත්කර දෙයි. මෙහිදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ පහත පරිදි වේ.
- ඉතාම තියුණු අනින්නාක් බඳු වේදනාවක් පර්ශු වලට පහලින් වූ තුනටියේ හා උදරයේ පහල කොටසේ ඇතිවීම.
- තරංග ආකාරයෙන් කඩින් කඩ ඇතිවන වේදනාව.
- මුත්රා පිටකිරීමේදී ඉතා තද වේදනාවක් හෝ දැවිල්ලක් දැනීම.
- මුත්රා සමග රුධිරය පහවීම.
- නිතරම මුත්රා පිටකිරීමේ අධික අවශ්යතාවයක් දැනීම.
- ඔක්කාරය හා වමනය ඇතිවීම.
- උණ තත්වය
ආයුර්වේදය තුල මහා රෝග අටෙන් එකක් ලෙස අශ්මරී හෙවත් මුත්රගල් දක්වා ඇත. එය කඵ ප්රධාන ත්රිදෝෂජ රෝගයක් ලෙස දක්වා ඇත. එමෙන්ම වාතජ අශ්මරී, පිත්තජ අශ්මරී, කඵජ අශ්මරී හා ශුක්ර අශ්මරී ලෙස කොටස් 4කට බෙදා දක්වා ඇත. මෙම අශ්මරී ආකාර වලට විශේෂිත වූ ප්රතිකාර ක්රම රාශියක් ආයුර්වේද වෛද්ය විද්යාවේ දක්වා ඇත. මේ සඳහා අශ්මරීභේදන, අශ්මරීපාතන, මූත්රල, මුත්ර ශූලඝ්න, මුත්රකෘච්ච හර ද්රව්ය යොදාගනී.
පහත දක්වා ඇත්තේ මුත්රගල් සඳහා ප්රතිකාර විධි කිහිපයකි.
- ඊතණ මුල්, වැලුක් මුල්, උණ මුල්, ඉලුක් මුල්, උක් මුල් කලං 2 හා මංචාඩි 8 බැගින් කෂාය කර බීම.
- පොල්පලා සම්පූර්ණ ශාකය තම්බා බීම.
- අක්කපාන ශාකය තම්බා බීම, එම කොළ හීනියට ලියන ලද සලාදයක් ලෙස සකසා අනුභව කිරීම, කොළ වල යුෂ පානය කිරීම.
- ලුණුවරණ පොතු, නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම.
- පොල්පලා හා නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ පානය.
පලපුරුදු ආයුර්වේද වෛද්යවරයෙකු යටතේ රෝග,රෝගී පරීක්ෂාවකින් පසුව නිර්දේශිත ඖෂධ ලබාගැනීමෙන් මෙම මුත්රගල් වලින් සම්පූර්ණයෙන් අත්මිදීමට ඔබට හැක.
එසේම මුත්රා අශ්මරී ඇතිවීම වලක්වාගැනීම පිණිස පත්යාපත්ය හා සුදුසු මෙන්ම නොසුදුසු විහරණයන්ද ආයුර්වේද වෛද්ය විද්යාවේ දක්වා ඇත.
- වතුර වැඩිපුර පානය කිරීම.
- උදෑසන හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම.
- කිවුල් ජලයෙන් තොර පිරිසිදු ජලය පානය කිරීම.
- මල මුත්ර වේග ධාරණයෙන් වැලකීම.
- අධිකව දහදිය පිටවන ක්රියාකාරකම් වල නියැලීමෙන් වැලකීම.
- දිවා කාලයේ නිදාගැනීමෙන් වැලකීම.
- විනාකිරි, අබ, ගම්මිරිස් හා අධික ලෙස කුළුබඩු යෙදූ අච්චාරු වැනි ආහාර නිතර ආහාරයට ගැනීමෙන් වැලකීම.
- කිරි, මාංස වර්ග වැනි මධුර, ස්නිග්ධ, ගුරු ආහාර වලින් වැලකීම.
- ලුණු භාවිතය අවම කිරීම.
- පෙර අනුභව කල ආහාර සම්පූර්ණයෙන් ජීරණය වීමට පෙර නැවත ආහාර ගැනීමෙන් වැලකීම.
- ඉස්සන්, දැල්ලන් බලමාළු වැනි උෂ්ණාධික ආහාර වලින් වැලකී සිටීම.
- කැකිරි, පිපිඤ්ඤා, සාරණ වැනි ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගැනීම.
මුත්ර ගල් සම්බන්ධයෙන් ආයුර්වේද ප්රතිකාර විධි සලකා බැලූවිට බොහෝ මුත්ර ගල් ශල්යකර්මයකින් තොරවම, මුත්රගල් දියවී මුත්රා සමග පිටවී යන පරිදි කටයුතු කිරීමට ආයුර්වේද වෛද්ය විද්යාවේ ප්රතිකාර ක්රම වලට හැකියාවක් පවතී. ඔබටත් ඉහත දක්වා ඇති කිනම් හෝ ලක්ෂණයක් ඇත්නම් ඉක්මනින්ම පලපුරුදු ආයුර්වේද වෛද්යවරයෙකු වෙත යොමුවෙන්න.