loader

පංචකර්ම ප්‍රතිකාර අතුරින් එකක් ලෙස සැළකෙන රක්ත මෝක්ෂණයෙහි සරල අර්ථය දූෂිත වූ රුධිරය සිරුරෙන් ඉවතට බැහැර කිරීම යන්නයි.

රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය ඵලදායී රුධිර පවිත්‍රකාරක ක්‍රමවේදයක් වන අතර, ස්වල්ප රුධිර ප්‍රමාණයක් පාලනයකින් යුතුව ඉවත් කිරීම මගින් එක්‍ රැස් වූ පිත්ත දෝෂය සමනය කර රුධිරය මගින් උපදින රෝග රැසකට සුවය ලබාදෙයි.

සුශ්‍රැතයට අනුව ඇතැම් රෝග ඇතිවෙන්නේ රුධිරය කුපිත වීම නිසාය. එවිට එම කුපිත වූ රුධිරය ඉවත්කිරීමට රුධිර වහනය කරවීම සිදුකරයි.

රෝගියාගේ ශරීර බලය, දෝෂ තත්ව, රෝගය ඇති ස්ථානය පිළිබඳව සලකා බලමින්, පිරිසිදු රුධිරය පිටතට පැමිණෙන තුරු රුධිර වහනය සිදුකරයි.

රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා සරත් සමය වඩාත් යෝග්‍ය වේ.

රක්ත මෝක්ෂණ ප්‍රතිකාර නුසුදුසු අවස්ථා 

පහත පුද්ගලයන් සඳහා රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සිදු නොකෙරේ.

  • කෘෂ පුද්ගලයන්
  • ගර්භණී මවුවරුන්
  • රක්තහීනතා රෝගීන්
  • අර්ශස් රෝගීන් 
  • වමන හා අතීසාර රෝගීන්

රක්ත මෝක්ෂණ ප්‍රතිකාර සුදුසු අවස්ථා

  • ආසාත්මිකතා
  • රුධිරයේ ඇතිවන විෂ තත්ව
  • දාහ තත්ව
  • නහර ගැටගැසීම (Varicose veins)
  • ගුධ්‍රැසි
  • වාතරක්ත
  • සන්ධිගත වාත 
  • ආමවාත
  • ඉරුවාරදය
  • සුව නොවන දියවැඩියා තුවාල
  • චර්ම රෝග

රක්ත මෝක්ෂණ ප්‍රතිකාර වර්ගීකරණය

  1. ශස්ත්‍ර විස්‍රවන

ලෝහමය ශල්‍ය උපකරණ මගින් සිදුකරන කැපුම් මගින් අපිරිසිදු රුධිරය ඉවතට ගමන්කිරීම සලස්වයි.

  • ප්‍රච්චන – සියුම් කැපුම් ආධාරයෙන් රුධිරය ඉවතට ගනී.
  • සිරාව්‍යාධ – රුධිර සාම්පලයක් ඉවත්කර ගැනීමට හෝ අභ්‍යන්තර එන්නත්කරණයක් සඳහා සිරාවක් සිදුරු කිරීම (Venepuncture)
  1. අනු ශස්ත්‍ර විස්‍රවන
  • ජලෞක (Leech therapy) – රක්ත මෝක්ෂණය සඳහා සුදුසු කූඩැල්ලන් සපයාගනී. බලපෑමට ලක්වූ ප්‍රදේශය විශබීජ නාශනය සඳහා ඖෂධීය දියරයකින් සෝදනු ලැබේ. කූඩැල්ලා රුධිරය උරාබීම ආරම්භ කළ පසු තෙත රෙද්දකින් ආවරණය කරයි.  කූඩැල්ලා විසින් පිරිසිදු රුධිරය උරා බොන විට කූඩැල්ලා ඉවත් කළ යුතුය. ඉවත්කිරීම අපහසු නම් සහිඳ ලුණු චූර්ණ කර තැවරීම සිදුකරයි. කහ ආලේපය මගින් රුධිර ගැලීම නවත්වයි.
  • අලබු (Pitcher gourd) – මෙහිදී අලබු මගින් රික්තක සෑදීම හා එම රික්තක මාර්ගයෙන් රුධිරය නිස්සාරණය කිරීම සිදුකරයි. බහුලවම කඵ රෝග වලදී යොදාගනී.
  • ශෘංගවාචරණ (Cow’s horn) – වාත රෝගයන්හිදී බහුලවම යොදයි. ප්‍රතිකාරය කලයුතු ස්ථානය හඳුනාගෙන එම ස්ථානය ඖෂධීය දියරයකින් සෝදා මතුපිටින් සියුම් කැපුම් කිහිපයක් යොදයි. එය  ආවරණය වන පරිදි ශෘංග හෙවත් අඟ තබා අනෙක් පසින් රුධිරය උරාගැනීම සිදුකරයි. රුධිරය අඟ තුළට එකතුවන අතර දෙපස පීඩනය සමානවූ විට ශෘංගය නිදහස් වේ. 

ප්‍රතිකාරය අවසානයේ ඖෂධීය තෛලයක් උපකාරයෙන් තුවාලය අවට සම්භාහනයක් සිදුකිරීමෙන් අනතුරුව තුවාලය වෙලුම්පටි වලින් ආවරණය කරයි.

ප්‍රතිලාභ

  • රුධිර සංසරණය යහපත් අන්දමින් සිදුකිරීමට උපකාර වේ.
  • පරිවෘත්තියට උපකාරී වේ.
  • චර්ම රෝග, ආතරයිටිස්, අධි රුධිර පීඩනයට සහන සලසයි.
  • නහර ගැටගැසීම සඳහා ප්‍රතිඵලදායක වේ.
  • අර්ශස් දුරුකරයි.

Leave a Reply