loader

ලිංගික බෙලහීනත්වය යනු පුරුෂ පාර්ශවය බෙහෙවින් මානසික වශයෙන්ද පීඩාවට පත්වන රෝගී තත්වයකි. ඔබගේ සංවේදනයන්ට හසුවන දර්ශනයක්, සුවඳක්, ස්පර්ශයක්, අසන ලද යම් දෙයක් හෝ සිතිවිල්ලක් හේතුකොට ගෙන ඔබගේ මොළය විසින් ශිෂ්ණය වෙත ස්නායු ඔස්සේ රසායනික පණිවිඩයක් යවයි. මින් ඔබේ ශිෂ්ණයේ ඇති රුධිර නාල විස්තාරණය වී ඒවා තුලට රුධිරය වැඩි ප්රමාණයක් ඇතුලත් කරගැනීමට සලස්වයි. එසේම රුධිරය ආපසු ගමන්කිරීමට ඇති රුධිර නාල වසා දමයි. මේනිසා රුධිර නාල තුල ඇතිවන පීඩනය හේතුවෙන් ශිෂ්ණය විශාල වීමකට හා දැඩි වීමකට පත්වේ. ශිෂ්ණය තුලට රුධිර ගැලීම් නතරවූ පසු හා රුධිරය ආපසු ගැලීමට ඇති මාර්ග විවෘත වූ විට ශිෂ්ණය නැවත සාමාන්ය තත්වයට පත්වේ. 

   නමුත් මෙම ක්රියාවලිය සාමාන්ය අන්දමින් සිදුනොවීම, සරලවම ශිෂ්ණය ප්රාණවත් නොවීම (erectile dysfunction) ලෙස හඳුන්වාදියහැක. මෙහිදී ලිංගික සංසර්ගය සඳහා ශිෂ්ණය ප්රාණවත් කරගැනීමේ නොහැකියාව හා ශිෂ්ණය ප්රාණවත් වුවද එය යම්තාක් කාලයක් එසේම පවත්වාගැනීමේ නොහැකියාව මීට ඇතුළත් වේ.

   ආයුර්වේද වෛද්ය විද්යාව තුල මෙය ක්ලීවත්වය ලෙසින් දැක්වේ. එය මෙසේ විස්තර කොට ඇත. මෛථූනය පිළිබඳව පුරුෂයා යොමුකල සිතිවිලි වලින් යුතු වුවද, ස්ත්රිය වසඟව මෙන්ම ප්රියව සිටියද, ස්වකීය ලිංගයේ ලිහිල් බව නිසා එම ස්ත්රිය වෙත එළඹීමෙහි ලා අසමත්වේද, නැතහොත් කලාතුරකින් එළඹේනම්, මෛථූනයේ යෙදෙන කාලයේදී හතියෙන් පෙළීම, ඇඟපසඟ අධික ලෙස දහදියෙන් තෙමීයාම, මනස ඒකාග්ර නොවීම හා ලිඟුව මැලවීයාම, බීජ හෙවත් ශුක්රාණු රහිත වීම ක්ලීවත්වය ලෙස විස්තර කරඇත.

   පුරුෂයින්ගේ ලිංගික උද්දීපනය වීම මොළය, ස්නායු, රුධිර වාහීනී, හෝර්මෝන, මාංශපේශී යන සියල්ලන්ගේම එකතුවෙන් සිද්ධ වන සංකීර්ණ ක්රියාවලියක් නිසා මෙයින් එකක හෝ ඇතිවන දෝෂ තත්වයක් ලිංගික බෙලහීනතාවය කෙරෙහි හේතුවිය හැක. ආයුර්වේදයට අනුව ලිංගික බෙලහීනත්වය හෙවත් ක්ලීවත්වයට හේතුවන ප්රධාන හේතූන් හතරකි. එනම් ශුක්ර දූෂණය, ලිංගය උවදුරු වලට භාජනය වීම, ජරාව (වයසට යාම), ශුක්රක්ෂයයි. ඊට අමතරව ලිංගික බෙලහීනත්වය සඳහා බලපාන හේතූන් කිහිපයක් පහත දක්වා ඇත.

  • හදවත් රෝග
  • අධි රුධිර පීඩනය හා අධි කොලෙස්ටරෝල් තත්ව
  • දියවැඩියාව
  • ස්ථූලතාවය
  • දුම්වැටි හා මත්පැන් භාවිතය
  • ශ්රෝණිය, ලිංගික ඉන්ද්රියන් හා සුෂුම්නාව ආශ්රිතව ශල්යකර්ම හා අනතුරු
  • නොයෙකුත් ඖෂධ 
  • මානසික ආතතිය, කාංසාව හෝ මානසික අවපීඩනය
  • දුර්වල සන්නිවේදනය හා වෙනත් හේතුන් මත ඇතිවන සබඳතා ගැටළු
  • ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අවම වීම්

   මෙහි රෝග ලක්ෂණ ලෙස පහත ආකාරයට දැක්විය හැක.

  • ශිෂ්ණය ප්රාණවත් වීමේ දුර්වලතා
  • සංසර්ගය අතරතුර ශිෂ්ණය අප්රාණවත් වීම
  • ලිංගික කටයුතු කෙරෙහි ඇති කැමැත්ත අඩුවීම
  • ඉතාම ඉක්මනින් ශුක්ර පහවීම
  • ශුක්ර පහවීම ප්රමාද වීම

   මානසික ආතතිය, තමා පිළිබඳ අවිශ්වාසය, තම සහකාරිය සමඟ ඇතිවන ගැටළුකාරී තත්වයන් නිසා සමහර අවස්ථාවන් වලදී මෙසේ ශිෂ්ණය ප්රාණවත් නොවීම සිදුවිය හැකි නමුදු මෙය දීර්ඝකාලීනව හෝ රෝග ලක්ෂණයක් ලෙස පවතිනවානම් වහාම වෛද්යවරයෙකු හමුවී ප්රතිකාර ගත යුතුය.

   ආයුර්වේදය තුල ලිංගික බෙලහීනතාවය ඇතිවීම ආකාර හතරක් ඔස්සේ දක්වා ඇත. එනම් බීජෝපඝාතජ ක්ලෛව්ය, ද්වජභංග ක්ලෛව්ය, ජරාජාත ක්ලෛව්ය හා ක්ෂයජ ක්ලෛව්ය ලෙසයි. මේ එක් එක් ආකාර වලට අදාල නිදාන කාරණා, රෝග ලක්ෂණ හා චිකිත්සීය කර්ම වෙන වෙනම ආයුර්වේදය තුල සඳහන් වේ. මෙහිදී චරක සංහිතාවට අනුව ලිංගික බෙලහීනත්වය සඳහා වන ආයුර්වේද චිකිත්සාව තුල පහත සඳහන් කරුණු අන්තර්ගතය.

  1. ශුක්ර දෝෂ සමනය සඳහා ඖෂධ යෙදීම – මේ සඳහා වාජීකරණ, රත්පිත් නසන යෝග විශේෂයෙන්ම වාතයෙන් දූෂිත ශුක්රයෙහි අනුවාසන කර්ම මෙන්ම නිරූහ කර්මද හිත වෙයි.
  2. ක්ෂත (තුවාල ඇත්නම්) ක්ෂීණ (ධාතුක්ෂය) සඳහා හිතකර යෝග යෙදීම.
  3. රසායන ප්රයෝගයන් ලෙස හිත වන වස්ති, ක්ෂීරඝෘත හා වෘෂ්යයෝග යෙදීම.

   වෛද්යවරයා විසින් ඉහත සඳහන් ප්රතිකාර ක්රම ඖෂධ යොදන කාලය, රෝගියාගේ දේහ-දෝෂ-අග්නි බල යන මේවා සලකා බලමින් නියම කරනු ලබයි. ඊට අමතරව ලිංගික බෙලහීනත්වයෙන් අත්මිදීම සඳහා සුදුසු ආහාර විහරණ ආදිය පහත ආකාර වේ.

  • ගිතෙල්, එළකිරි,මස් රස, ඇල්හාල්, බාර්ලි, තිරිඟු, සැටදා සහල් ආදිය ශුක්ර දෝෂයන් සඳහා ප්රශස්ත වේ. 
  • සිසිල් වූ, රළු වූ, දූෂිත හෝ හිතකර නොවන (අසාත්ම්ය) ආහාර ගැනීමෙන් වැළකීම.
  • තික්ත, කසට, ලුණු, ඇඹුල් උෂ්ණ ගුණ හා වීර්ය ඇති ද්රව්ය අධිකව සේවනයෙන් වැළකීම.
  • පෝෂ්යදායී ආහාර වේලක් ගැනීම.
  • ශුක්ර වේග දැරීමෙන් වැළකීම.
  • මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකීම.
  • ක්රෝධය, භය යන මානසික ව්යාධි වලින් තොර වීම.
  • මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා යෝග ආසන, භාවනා ක්රම හා ප්රාණයාම ආදියෙහි නියැලීම.
  • සිය සහකාරිය සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීම.
  • දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ව වළක්වා ගැනීම හෝ පාලනය කර ගැනීම.
  • නියමිත BMI අගය තුල සිය බර පවත්වා ගැනීම.
  • වෛද්යවරයා විසින් නිර්දේශ නොකරන ලද ඖෂධ හා ඖෂධ අධිමාත්රා වලින් භාවිතා කිරීමෙන් වැළකීම.

   ආයුර්වේද වෛද්ය ශාස්ත්රය තුල ලිංගික බෙලහීනත්වය සඳහා ප්රතිකාර විශාල පරාසයක් තුල පැතිරී ඇති අතර නියමිත රෝග රෝගී පරීක්ෂාවකින් පසුව වෛද්යවරයා ඔබට ඖෂධ නියම කරනු ඇත. ආයුර්වේද චිකිත්සාවන් සමග ලිංගික බෙලහීනතාවය තවදුරටත් ඔබට මානසිකව වදදෙන ගැටළුවක් නොවනු ඇත

Leave a Reply