loader

පංචකර්මයන් අතුරින් ප්‍රධාන ස්ථානයක් දරණ වස්ති නොහොත් බස්ති කර්මයන් කෂාය හෝ ඖෂධීය තෛල යොදාගනිමින් ශෝධන හා රසායන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කරයි.

මෙහිදී ගුද මාර්ගය ඔස්සේ ඖෂධ යෙදීම සිදුකරයි.

වස්ති: යස්මාත් වස්තීනී: දීයතේ ගුදදේශෝ තස්මාත් වස්තිරිති ස්මෘත:

විශේෂයෙන්ම වාත දෝෂය නිසා ඇතිවන්නාවූ රෝග වලට ප්‍රතිකාරයක් ලෙස වස්ති කර්ම නිර්දේශ කරයි. එසේම මහාන්ත්‍රය ශෝධනයටද යොදයි.

වස්ති කර්ම සුදුසු අවස්ථා

වාත දෝෂය කෝපය හේතුකොටගෙන,

  • තද වූ හෝ හැකිළුණු සිරුරු ඇති අය
  • රෝගී වූවන්
  • භග්න වලට ලක්වූවන්
  • වාත රෝග වලින් පෙළෙන්නන් 

සහ

  • මල පදාර්ථය පිම්බී හෝ මල බද්ධතා සහිත වූවන්
  • ආහාර අරුචිය ඇති රෝගීන්
  • කුපිත වූ වාතය හේතුවෙන් ගැබ් නොගන්නා ස්ත්‍රීන්
  • හීන වූ ඉඳුරන් හෝ කෘෂ ශරීර ඇති අයවලුන් වස්ති කර්මය සඳහා සුදුසු වේ.

වස්ති කර්මය නුසුදුසු අවස්ථා

  • වමන-විරේචන ආදියෙන් ශෝධනය කලයුත්තන්
  • කුෂ්ඨ මේහ රෝගීන්
  • මේදස් බහුල පුද්ගලයන් 
  • බෙහෙවින් ශරීර දුර්වල තැනැත්තෝ
  • මලාදී දෝෂයන් කරණකොට ගෙන බද්ධ වූ වායුව ඇත්තන්

වස්ති කර්මය සඳහා සුදුසු නොවේ.

වස්ති කර්ම ක්‍රියා පිළිවෙත

මෙය ප්‍රධාන අදියර 03කින් සමන්විත වේ.

  1. පූර්ව කර්ම
  2. ප්‍රධාන කර්ම 
  3. පශ්චාත් කර්ම 

මෙම අදියර ක්‍රියාවලි වස්ති කර්ම ආකාරය අනුව වෙනස් වේ.

වස්ති කර්ම ප්‍රධාන ආකාර දෙකකි.

  1. නිරූහ වස්ති
  2. අනුවාසන වස්ති

නිරූහ වස්ති

කෂාය වස්ති ලෙසද හඳුන්වයි. මෙහිදී ප්‍රධාන ඖෂධය ලෙස කෂාය වර්ග ගුද මාර්ගයෙන් ඇතුළත් කිරීම සිදුකරයි.

පූර්ව කර්ම

මල මුත්‍ර වේගයන්ගෙන් හා කුසගිනි වලින් තොරව සිටීමට උපදෙස් ලබාදෙයි. උදරය, පශ්චාත් පෙදෙස හා කලවා ස්නේහනය කර සම්භාහනය කිරීම සිදුකරයි. 

ප්‍රධාන කර්ම

රෝගියාට වම් ඇලයට වැතිරී සිට වම් පාදය දිගහැරද, දකුණු පාදය දණහිසෙන් හා උකුළෙන් නැවීමට උපදෙස් දෙයි. තෙල් ගා ලිහිසි කරන ලද බස්ති තුණ්ඩය, තෙල් ගා මෘදු කරන ලද ගුද මාර්ගයට ඇතුල්කර බස්ති බෑගය ඒකාකාර පීඩනයකින් මිරිකයි. ඉන්පසු රෝගියාට මලපහ කිරීමේ අවශ්‍යතාව දැනෙනතුරු උඩුකුරුව වැතිරසිටීමට සලස්වයි. මලපහ කිරීමේ අවශ්‍යතාවය පැමිණිවිට එය නොසලකාහරිමින් ඖෂධ රඳවා ගතයුතුය. එම රඳවාගැනීමෙන් විනාඩි 48ක් ඇතුළත වස්ති ඖෂධ පිටතට පැමිණීම අපේක්ෂා කෙරේ.

පශ්චාත් කර්ම

වස්ති කර්මයෙන් පසුව උණුවතුර ස්නානයට සලස්වා එක් එක් දෝෂයන්ට සුදුසු පරිදි ලඝු ආහාර ලබාදෙයි.

අනුවාසන වස්ති

ස්නේහ වස්ති ලෙසද හඳුන්වයි. ඖෂධීය තෙල් හෝ ගිතෙල් ප්‍රධාන ද්‍රව ඖෂධය ලෙස භාවිතා කරයි.

පූර්ව කර්ම

සාමාන්‍යයෙන් ගන්නා ආහාර ප්‍රමාණය මෙන් 1/4ක ප්‍රමාණයක් ආහාර ගෙන මල මුත්‍ර වේග ඇත්නම් ඒවා පහකිරීමට උපදෙස් දෙයි. 

ප්‍රධාන කර්ම

නිරූහ වස්ති ආකාරයටම වේ.

පශ්චාත් කර්ම

යොදන ලද අනුවාසය පිළිබඳ ස්නේහය පෙරළා පැමිණි පසු, එදින රාත්‍රියේ රෝගියාට උපවාසය කරවා, පසුදින දහවල භෝජනය පිණිස ආහාර ලබාදෙයි.

වස්ති ගුණ

චරක සංහිතාවට අනුව වස්ති කර්මයන් විධි සේ සිදුකිරීමෙන් පහත ප්‍රතිලාභ ලැබේ.

  • වයස්ථාපනය සිදුවේ.
  • සැපය, ආයුෂය, ශරීර බලය හා වර්ණය, අග්නිය, මේධාව, ශරීර බලය, ඕජස යන මේවා ඇතිවේ.
  • සමස්ථ ශරීරයේ ස්ථිර දෝෂ සංඝාතය බැහැර කර දමා, රෝග සමූහය ශමනය කරයි.
  • සිරුරේ දැඩිබව, ශුක්‍රය හා බලය ඇතිකරයි.

Leave a Reply