
PCOD (PCOS) යනු ප්රජනක අවධිය තුළ පසුවන කාන්තාවන් තුල බහුලව දක්නට ලැබෙන, හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇතිවන්නා වූ රෝගී තත්වයකි. සත්යවශයෙන්ම මෙම රෝගී තත්වය සඳහා නිදාන වූ කාරණය නොදන්නා නමුදු මෙය බොහෝදුරට ජානමය හේතූන් නිසාද, එසේම සිරුර තුළ ඉන්සියුලින් හෝර්මෝනය හා ලිංගික හෝර්මෝන වල අසමතුලිතතාවය නිසාද PCOD ඇතිවේයැයි උපකල්පනය කරයි. මෙහිදී PCOD පවතින කාන්තාවක සතු ප්රධාන ලක්ෂණ ලෙස පහත කරුණු දැක්විය හැක.
අක්රමවත් වූ ඔසප්චක්රයක් ඇතිබව – යහපත් ප්රජනන සෞඛ්යයෙන් යුතු කාන්තාවක් සමස්ථයක් ලෙස සෑම දින 28කට වරක් සිය ආර්ථවහරණය දක්වා ඔසප්චක්රය සම්පූර්ණ කරයි. (දින 21-35 අතර වෙනස්වීම් සිදුවීම සාමාන්ය වේ). නමුත් PCOD තත්ව වලදී කලාතුරකින් ඔසප්වීම සිදුවීම, ඔසප්චක්රය අක්රමවත් වීම, ඔසප්වීමේ කාල සීමාව දින 7කට වඩා වැඩිවීම බහුලව දැකගත හැක.
ඇන්ඩ්රෝජන් හෝර්මෝන මට්ටමෙහි වැඩිවීම – ඇන්ඩ්රෝජන් යනු පුරුෂ ලක්ෂණ ඇතිකරන්නාවූ හෝර්මෝන වේ. මෙම හෝර්මෝන මට්ටම වැඩිවීමද PCOD තත්වයේ එක් ලක්ෂණයක් වන අතර ඒ හේතුවෙන් පහත ලක්ෂණ කාන්තාවක තුල ඇතිවිය හැක.
- මුහුණේ හා සිරුරේ රෝම අධික වීම (Hirsutism)
- විටින්විට අධික ලෙස කුරුලෑ මතුවීම
- පුරුෂයින්ගේ ආකාරයට තට්ටය පෑදීම සිදුවීම හෝ කෙස් අධිකව ගැලවීයාම
Polycystic ovaries / ඩිම්බකෝෂ ඉදිමීම – මෙහිදී ඩිම්බකෝෂ තුල හානිකර නොවන බිබිලි වැනි ව්යුහ (follicles) ඇතිවන අතර ඒ හේතුවෙන් ඩිම්බ මේරීම, ඩිම්බ නිසි ආකාරයට මෝචනය නොවීම සිදුවිය හැක. මෙය ඩිම්බකෝෂ වල ගෙඩි ඇතිවීම හෝ ඉදිමීම ලෙසද ව්යවහාරයේ යෙදේ.
මීට අමතරව PCOD රෝගීන් පහත ලක්ෂණ පෙන්නුම් කරයි.
- ස්ථූලතාවය
- ගෙල මහත් වී කළු පැහැ ගැනිවීම
- ගැබ් ගැනීමේ අපහසුතාව
PCOD රෝග තත්වය හේතුවෙන් කාන්තාවන් තුළ පහත සංකූලතා ඇතිවිය හැක.
- ගර්භනී අවධියේ ඇතිවන දියවැඩියා තත්වය
- ගබ්සා වීම හෝ නොමේරූ දරු උපත් ඇතිවීම
- අධිරුධිර පීඩනය
- දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්ව
- මානසික ආතතිය හා ආහාර රටාවේ වෙනස්වීම්
- ගර්භාෂය තුළ සිදුවන අසාමාන්ය රුධිර ගැලීම්
- ගර්භාෂයික පිළිකා
PCOD රෝගය සම්පූර්ණයෙන් සුව කලහැකි නොවූවද, ආයුර්වේද ශාස්ත්රය තුළ වූ පුද්ගලානුබද්ධ චිකිත්සා ක්රම මගින් මෙම රෝගය මනාව පාලනය කර ඔබේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමේ හැකියාව පවතී. ආයුර්වේද වෛද්ය විද්යාව යනු වසර 3000කට පමණ පෙර ඉන්දියාවෙන් මූලාරම්භය ලද ස්වස්ථබාවය ආරක්ෂා කරගැනීම හා රෝගීන්ගේ රෝග සුවපත් කිරීම අරමුණු කරගත් විශිෂ්ඨ වෛද්ය ශාස්ත්රයකි. ආයුර්වේදය තුල PCOD රෝග තත්වයට අයත් ලක්ෂණ ආර්ථව ව්යාපත් යටතේ වර්ග කරඇති අතර එය පාලනය කර ගැනීම සඳහා යොදන චිකිත්සීය ක්රම වලින් පහත දේ අරමුණු කරයි.
- සිරුර අභ්යන්තර විෂ හරණය (Ayurveda detoxification)
- ස්ත්රී ප්රජනක පද්ධතිය පුනර්ජීවනය කිරීම හා බලගැන්වීම
- හෝර්මෝන අසමතුලිතතාවය නිවැරදි කිරීම
- තරබාරුකම හා ඉන්සියුලින් සඳහා සිරුර විසින් දක්වන ප්රතිරෝධය පාලනය කිරීම
වැරදි ආහාර, ජීවන රටාව, මානසික ආතතිය හා ශරීර ව්යායාම නොමැතිකම මෙන්ම දිගුකාලීනව හෝ අධික ලෙස උපත් පාලනය සඳහා හෝර්මෝන පෙති භාවිතය PCOD රෝගයට ප්රධාන වශයෙන් බලපායි. මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර සිය දිවිපෙවෙත හැඩගස්වා ගැනීමෙන් PCOD තත්වය පාලනය කරගත හැක. මේ සඳහා ආයුර්වේදයට අනුව පහත උපදෙස් පෙන්වා දීඇත.
ආහාර
- සියලුම සීනි සහිත ආහාර හා කෘතිම රසකාරක වලින් වැළකීම.
- ඔසප් සමය තුළ ලුණු සහිත ආහාර ගැනීම සීමාකිරීම.
- එළවළු හා පළතුරු වැඩියෙන් ආහාරයට එකතු කරගැනීම.
- ධාන්ය වර්ග ආහාරයට එක්කර ගැනීම.
- ශරීරය සිසිල් කරන ආහාරපාන භාවිතය.
- නිර්මාංශ නොවන පුද්ගලයන් කාබෝහයිඩ්රේට් ප්රමාණයට සාපේක්ෂව වැඩියෙන් නැවුම් මාළු, කාබනික කුකුල් මස් හා බිත්තර වැනි ප්රෝටීනමය ආහාර ලබාගැනීම මගින් සිරුරේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගත හැක.
- රතු මස්, වාණිජමය වශයෙන් සකස්කරන ලද කෙටි ආහාර හා ගැඹුරු තෙලේ බදින ලද ආහාර වල සංතෘප්ත මේදය අධික වශයෙන් අඩංගු වන හෙයින් ඒවා ආහාරයට ගැනීමෙන් වැළකීම්.
විහරණ
- ආතතිය හා කාංසාව කළමනාකරණය කරගන්න. එය ඔබගේ හෝර්මෝන මට්ටම යහපත් කිරීමට උපකාරී වේ. මේ සඳහා ප්රාණයාම, යෝග ආසන හෝ භාවනා ක්රම වල නිරත වියහැක.
- උසට සරිලන බර පවත්වාගන්න.
- දිනපතා ව්යායාම වල යෙදෙන්න.
- දිනකට ජලය ලීටර් 1.5-2 ක ප්රමාණයක් පානය කරන්න.
PCOD සඳහා යෝග ප්රතිකාර
- බද්ධකෝනාසන
- බුජංගාසන
- නෞකාසන
- ධනුරාසන
- බාලාසන
මෙම යෝග ආසන වල නියැලීම මඟින් කාන්තාවන් තුළ ඩිම්බකෝෂ ක්රියාකාරීත්වය නියාමනය කිරීම, ඔසප්චක්රය ක්රමවත් කිරීම, ලිංගික ශක්තිය වැඩිදියුණු කිරීම, PCOD රෝග ලක්ෂණ පාලනය කිරීම, තයිරොයිඩ් ග්රන්ථීයේ යහපත් ක්රියාකාරීත්වය පවත්වාගැනීම, ඔසප් වේදනාව සමනය කිරීම හා ප්රජනන පද්ධතිය උත්තේජනය කිරීම සිදුකරයි.
වර්තමානයේ කාන්තාවන් බොහෝදෙනා අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් වන PCOD තත්වයක් වුවද තත්වය හඳුනාගෙන එයට ප්රතිකාර ලබාගැනීම සඳහා බොහෝදෙනා යොමුවන්නේ දරුඵල ප්රමාදවීම සිදුවූ විටය. නමුත් ආයුර්වේදිය චිකිත්සීය ක්රම අනුව මුලසිටම රෝගය හඳුනාගෙන පාලනය කරගැනීම මඟින් රෝගය නිසා ඇතිවන සංකූලතා තත්වයන් මනාව මගහරවා ගතහැක.