loader

පංච කර්ම අතුරින් එකක් වන ‘විරේචන’ එසේත් නැතහොත් ‘විරේක’ යන්නෙහි අර්ථය වන්නේ පිරිසිදුකිරීම හෝ ඉවත්කිරීම යන්නයි.

අධෝභාගං විරේචන සංඥකම් තද් විරේචනං පිත්තේ විශේෂේණතු වාමයේත්”

නිශ්චිත කාලයක් තුළ සිද්ධකරන මෙම ක්‍රියාවලියෙන් ශරීරය තුළ පවතින විෂ තත්ව ගුද මාර්ගය ඔස්සේ ශරීරයෙන් ඉවතට ඇදදැමීම සිදුකරයි.

ප්‍රකුපිත වූ පිත්ත දෝෂය ශරීරයෙන් ඉවතට බැහැරකිරීම සඳහා ඉතාම සුදුසු ප්‍රතිකර්මයක් ලෙස විරේචන කර්මය දැක්වියහැක. 

මේ හේතුවෙන් පිත නිසා හටගන්නා රෝග තත්වයන්ගෙන් සහනය ලබාගැනීම සඳහා විරේචන කර්ම භාවිතාකරයි.

විරේචන කර්මය සිදුකිරීම නුසුදුසු අවස්ථා

පහත රෝගී තත්වයන් ඇතිවිටදී විරේචන කර්ම සිදුනොකරයි.

  • පාචනය
  • ගුද මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම
  • මුත්‍රා සමග රුධිරය පිටවීම
  • අධික උණ
  • ගුදමාර්ගයේ තුවාල 

එසේම පුද්ගල ස්වභාවය පිළිබඳව සලකාබැලීමේදී,

  • මහළු පුද්ගලයන් 
  • කුඩා දරුවන්
  • ගර්භණී මවුවරුන් 
  • ඉතාම කෘෂ හා ශරීරය දුර්වල පුද්ගලයන්
  • අති ස්ථූල පුද්ගලයන්

විරේචන ප්‍රතිකාර කිරීම සුදුසු නැත.

විරේචන කර්ම සිදුකල යුතු අවස්ථා

  • මලබද්ධතාවය 
  • පණුරෝග 
  • මහාන්ත්‍රයේ අධික වේදනා තත්ව
  • ස්ත්‍රී සහ පුරුෂ මෞත්‍රලිංගික පද්ධතියේ රෝග තත්ව
  • රක්තය කෝප වීමෙන් ඇතිවන රෝග තත්ව
  • මුත්‍රකෘච්ච
  • චර්ම රෝග
  • පිත මූලික කරගත් සියලු රෝග

ඉහත සියලුම අවස්ථාවන් වලදී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස විරේචන කර්මය සිදුකල හැකිය.

වර්ගීකරණය

විරේචනයට යොදන ඖෂධ හා රෝගියාගේ රෝගී තත්වය අනුව විරේචන කර්මය සිදුකරන ක්‍රමවේදයන් ආකාර 04 කි.

  1. අනුලෝමන
  2. සංස්‍රමන
  3. භේදන
  4. රේචන

විරේචන කර්මය සිදුකරන පිළිවෙත

ප්‍රධාන පියවර 03ක් ඔස්සේ විරේචන කර්මය සිදුකෙරේ.

  1. පූර්ව කර්ම
  2. ප්‍රධාන කර්ම
  3. පශ්චාත් කර්ම

පූර්ව කර්ම

  • පූර්ව කර්ම මගින් ශරීරය විරේචනයට සූදානම් කරයි. සිරුරෙන් පිටවිය යුතු විෂ පදාර්ථ අන්ත්‍ර වෙත ගෙනඑයි. 
  • නිසි අයුරින් ආහාර දිරවීමට හා ආමය ඉවත්කිරීමට පාචන ප්‍රතිකාර ලබාදෙයි.
  • ඉන්පසුව ප්‍රථමයෙන් ස්නේහන කර්මද, පසුව ශරීර අභ්‍යංගය හා ස්වේදන කර්මයන්ද සිදුකරයි.
  • විරේචන කර්මයට පෙරදින ලඝු ආහාර හා ඇඹුල් සහිත ආහාර ලබාදෙයි. කඵ දෝෂය වැඩිකරන ආහාර ලබානොදෙයි. 

ප්‍රධාන කර්ම

  • විරේචන කර්මය නිතරම කඵ දෝෂයේ බලපෑම අවමවීගෙන යන හා පිත්ත දෝෂයේ බලපෑම  ආරම්භ වන, උදෑසන කාලයේ අගභාගයේදී සිද්ධ කරයි.
  • මෙම ඖෂධ හිස්බඩ ලබාදෙයි.
  • මල පිටකිරීමේ අවශ්‍යතාවය දැණුනුවිට මල පිටකිරීමටද ඒ අතරතුර කාලයේ විවේකීව සිටීමටද රෝගියාට උපදෙස් ලබාදෙයි. මල වේග ධාරණය නොකලයුතුය.
  • මල වේග උද්දීපනය සඳහා උණුසුම් ජලය ස්වල්පයක් පානය කිරීම හා උදරය උණුසුම් අත්ලෙන් මුදු ලෙස සම්බාහනයට උපදෙස් ලබාදෙයි.
  • විරේචන ඖෂධයේ බලපෑම පෙන්නුම් කරන්නේ එම ඖෂධය ජීරණයෙන් පසුවය.
  • රෝගියාගේ රුධිර පීඩනය, නාඩි ස්පන්දන වේගය හා විජලනය වීමේ ලක්ෂණ ඇතිදැයි නිතර පරීක්ෂා කලයුතුය.

පශ්චාත් කර්ම

  • විරේචන කර්මයෙන් පසුව රෝගියා සුළං නොවදින කුටියක් තුළ විවේක ගැනීමට සළස්වයි. පසුව උණුසුම් ජලයෙන් ස්නානය කරවා කුසගිනි පැමිණිවිට සුදුසු ආහාර ලබාදෙයි.

ප්‍රතිලාභ

  • විෂ පදාර්ථයන් හා ආහාර ජීරණ පද්ධතියේ ඇති අතිරික්ත ශ්ලේෂ්මල පදාර්ථ ඉවත්කර ආහාර ජීරණය ක්‍රමවත් කරයි.
  • අක්මාව ප්‍රකෘතිමත් කර පරිවෘත්තිය හා මේද ජීර්ණය යහපත් කරයි.
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග රැසකට සහනය සලසයි.
  • චර්ම රෝග, කුෂ්ඨ රෝග හා ආසාත්මිකතා වලට සහනය සළසයි.
  • පිත්ත දෝෂය සමතුලිතතාවයට පත්කරයි.

Leave a Reply